දිනසේන රතුගමගේ –
අධිකරණ නියෝග කඩකරමින් පොතුවිල් සිට යාපනයේ පේදුරුතුඩුව පොලිකණ්ඩි දක්වා ගමන් කළ පෙළපාලිය ඊයේ ( 7 )දා රාත්‍රියේ අවසන් කිරීමෙන් පසුව ඊට සහභාගී වූ පිරිස විසින් පොදු නිවේදනයක් නිකුත් කොට තිබේ.
එම නිවේදනයේ සදහන් වන්නේ යුද්ධයේ අවසන් දින කීපය ඇතුළත 70000 ක් මියගොස් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු විය යුතු බව පෙන්වා දී ඇති අතර රජය විසින් දෙමළ ජනයාට එරෙහිව විශාල මර්දනයක් ගෙන යාමේ සිද්ධිය ද මානව හිමිකම් කමිටුවට අලුතෙන් දැනුම් දීමට කාරණයක් වී ඇති බව නිවේදනයේ සඳහන් වේ.
යුද හමුදාව ආරක්ෂාවට යොදවා උතුරේ හින්දු සිද්ධස්ථාන 200ක් පමණ අත්පත් කරගෙන ඒවා බෞද්ධ සිද්ධස්ථාන බව පෙන්වීමට පුරා විද්‍යා නිලධාරීන් යොදවා ඇති අතර යුද්ධය අවසන් වී ඇති නිසා උතුරු නැගෙනහිර පළාත්වලින් යුද හමුදාව ඉවත් කළ යුතු බවද දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ විසින් පෙළපාලිය අවසානයේදී නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.
ඉස්ලාමීය ජනතාවගේ ඉල්ලීම් වලට රජය කන් දිය යුතු බවත් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම ඇතුලුව ඔවුන්ගේ පහසුකම් පිළිබදව සොයා බැලිය යුතු බවත් ප්‍රකාශ කරන පෙළපාලිකරුවන් මඩකලපුව ප්‍රදේශයේ ගොවීන්ට රජයෙන් එල්ල වන තහංචි හා ගවයින් බලහත්කාරයෙන් මරා දැමීම නතර කළ යුතු බවටද ඉල්ලීමක් කොට තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමෙ පනත අහෝසි කිරීම බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වලට රජය වගකීම හා ඔවුන් වෙනුවෙන් සහන සැලසීම සිදු කළ යුතු බව ආදී තවත් ඉල්ලීම් ගණනාවක් ඔවුන් නිකුත් කළ අවසන් නිවේදනයේ සඳහන් කොට තිබේ.







