බන්ධනාගාරගතව මාස 09ක සිර දඬුවමක් විඳමින් සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (25) ඇප මත නිදහස් වූහ .
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය ජනවාරි මස 09 දා ඥානාසාර හිමියන් වරදකරු කෙරුවේය.
අනතුරුව මාස 09ක ලිහිල් සිරදඬුවමකට යටත් කළ ඥානසාර හිමියන්ට සිර දඬුවමට අමතරව රුපියල් 1,500 ක දඩයක් ද නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන සිය නියෝගය නිකුත් කළේය.
2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ.” යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලීසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණි.
එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇපමත මුදාහන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.







