මනම්පිටිය නිමල් ජයරත්න –
ආසියාවේ විශාලතම විල්ලු පද්ධතියක් ලෙස සැලකෙන පොළොන්නරුව හදපාන්විල විල්ලූ ආශ්‍රිතව අක්කර සීයකින් යුත් භූමි ප්‍රමාණයක්, ප්‍රභූන් සිව් දෙනකුට ලබාදීමට සැලසුම් සකස් කරමින් සිටින බව ජල ගැලීම් ජාතික වනෝද්‍යානය සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
මීට පෙර අවස්ථා තුනකදී එම ප්‍රදේශයේ අක්කර සියයකින් යුතු එම භූමිය දේශපාලඥයින් කීපදෙනෙකුට සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් කීපදෙනෙකුට ලබාදීමට සැලසුම් කර තිබියදී පරිසර සංවිධාන සහ ජනතා විරෝධය හමුවේ එය නතර කළ බව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්යයන සුරැකීමේ සංවිධානයේ සභාපති ටී. තීපන් සඳහන් කළේය.
2019 වර්ෂයේ ද මෙම ඉඩම් කොල්ලයට දේශපාලනඥයන් කිහිපදෙනෙකු සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් ක්‍රියාකළ අතර එවකට, හිටපු වනජීවී අධ්යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම පොළොන්නරු කලාප භාර සිටි වනජීවී සහකාර අධ්යක්ෂ, ඩබ්ලිව්.ඩී.එම්.ජේ.වික්‍රමසිංහ එහි ඇති වටිනාකම පෙන්වා දීමෙන් පසු භූමි ප්‍රමාණය රැකගැනීමට හැකියාව ලැබුණි.
ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයටත්, ආසියාවේ විශාලත විල්ලු පද්ධතියක් ලෙස සැලකෙන අධි සංවේදී පරිසර කලාපයකින් යුක්ත මෙම භූමිය ලබාදීමට වනජීවී අඩවි සහකාරවරුන් මෙන්ම පරිසර සංවිධාන සහ ජනතාව විරෝධය දක්වන අවස්ථාවේදී, එම ඉඩම ලබා ගැනීමට සූදානමින් සිටින උසස් හමුදා නිලධාරියා සමග වනජීවී සහකාර අධ්යක්ෂවරයා පසුගිය පෙබරවාරි 27 වෙනිදා එම විල්ලු පද්ධතියේ නිරීක්ෂණය චාරිකාවට සම්බන්ධ වු බව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ ගැලවීම ජාතික වනෝද්‍යාන සුරැකීමේ සංවිධානයේ සභාපති ටී. දීපන් කීවේය.
මෙම විල්ලු පද්ධතියේ අක්කර සීයකින් යුත් භූමි ප්‍රමාණය ලබාදීමට හිටපු වනජීවී ඇමැතිවරුන් වන සරත් ෆොන්සේකා, පාලිත තෙවරප්පෙරුම ඇතුළු වනජීවි නිලධාරින් පිරිසක් පැමිණි අවස්ථාවේදී පරිසර සංවිධාන සහ ජනතා විරෝධය හමුවේ හදපාන්විල විල්ලුවේ ඉඩම් බෙදාදීමද නතර විය.
ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය මෙන්ම ආසියාවේ විශාලම විල්ලූවක අක්කර සියයකින් යුත් භූමි ප්‍රමාණයක් ලබාදීමට ක්‍රියා කළහොත් එම ප්‍රදේශයේ සැරිසරන විල් අලියා මෙන්ම, වන අලින් වන බරපතල අර්බුදයකට පත් වන බවත් ඒ තත්ත්වය තුළ අලි මිනිස් ගැටුම තවදුරටත් උග්රවනු ඇති බවත් පරිසර සංවිධාන පෙන්වා දෙයි.
දැවැන්ත ජාතික අපරාධයක් කරමින් අක්කර සීයක භූමියක් ප්‍රභූන් කීපදෙනෙකුට ලබාදීමේ කුමන්ත්‍රණය පිළිබඳ අප පොළොන්නරුව වනජීවී සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.එල්.පී. එදිරිසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු මෙසේ පැවසීය.
“තාම හරියටම කියන්න දන්නෑ, ඒක වනජීවි ඉඩමක් නෙමෙයි නමුත් ඉල්ලීම් කරලා තියෙනවා.ඒක ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක්.”
අප මෙම විල්ලු පද්ධතියේ ඉඩම් ලබාදීම පිළිබඳ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කීය.
“ඒක අපිට අයිති නෑ. ඔය පැත්තේ වනජීවි එකෙන් අපිට අයිති කොටසක අලි වැටක් ගහලා තියෙනවා, පහුගිය දවසක සාකච්ඡාවක් කළාට පස්සේ වනජීවියෙන් අපි ඉල්ලීමක් කරා අපිට අයිති ඉඩම් ටික දෙන්න කියලා. ඊට පස්සේ වනජීවි එකෙන් නිර්දේශ දුන්නා අපිට ඒ ඉඩම් දෙන්න කියලා. එහෙම නැතුව ඉඩම් බෙදා දීමක් සිදුවන්නේ නෑ.”