ශ්‍රියානි විජේසිංහ –
ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 4 බිඳවැටිම හේතුවෙන් රෝගීන් මහත් දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ බිදවැටී ඇති යන්ත්‍ර අතර CT යන්ත්‍ර 2ක් සහ MRI යන්ත්‍ර 2 ක් තිබෙන බවත් මේවායේ සිදුකරන පරික්ෂණයන් රෝගීන්ට පිටතින් කිරිමට සිදුව ඇති බැවින් ඒ සදහා විශාල මුදලක් වැය වෙමින් ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි. බොහෝ විට මෙම අධික පිරිවැය රෝගීන් වෙතම පැවරීම හේතුවෙන් ඔවුන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති ආකාරය එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
MRI scan පරීක්ෂණයක් සිදුකරගැනීම සඳහා රෝගියෙකුට රෝහල් ගතවී දින හතරකට වැඩි කාලයක් ගතකළ යුතු වීමෙන් රෝගීන් මෙන්ම කාර්‍යමන්ඩලයද දැඩි අපහසුතාවයට ලක්වීමක් සිදුවී ඇත.
එසේම මේ වන විට MRI scan පරීක්ෂණ සඳහා සමහර සායනවල මාස 8ට වඩා වැඩි පොරොත්තු ලේඛන තිබෙන බව රජයේ විකිරණවේදීන්ගේ සංගමය පෙන්වාදේ.
අද වන විට ජාතික රෝහලේ ක්‍රියාකාරී තත්ත්වය පවතින්නේ MRI ස්කෑන් යන්ත්‍ර 2ක් පමණක් වන අතර එම යන්ත්‍ර මගින් විකිරණ තාක්ෂණවේදී නිලධාරීන් විසින් පැය 24 පුරා පරීක්ෂණ ඉටුකළද රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීමේ බරපතල ප්‍රමාදයක් ඇතිවන බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වා දෙයි.
බිඳවැටුණු MRI යන්ත්‍ර දෙකෙන් එකක් මාස 5 ක් සහ අනෙක් යන්ත්‍රය සති 3 ක කාලයක් මෙලෙස බිඳවැටී ඇති අතර CT ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් සති 4 ක් සහ අනෙක් යන්ත්‍රය දැනට දින දෙකක සිට බිඳවැටීම සිදුවී ඇති බවද හෙතෙම සදහන් කරයි.
CT scan පරීක්ෂණ සිදු කිරීම ද හදිසි පරීක්ෂණ වලට පමනක් සීමාකරමින් සිදු කරමින් පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යනු ලැබේ. මේ හේතුවෙන් CT පරීක්ෂණ සඳහා දින ලබාගත් රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීම අවලංගු කිරීමට සිදුවී ඇත.
CT සහ MRI පරීක්ෂණ රෝගීන්ගේ රෝග හඳුනාගැනීම සඳහා අත්‍යවශ්‍ය පරීක්ෂණයක් බවට අද වන විට පත්ව ඇති අතර පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් රෝග ප්‍රතිකාර කිරීම, සැත්කම් සිදුකිරීම ප්‍රමාද වීම සම්බන්ධව පසුගිය කාලය පුරාම සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළත් මෙම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුවී නොමැති බව චානක ධර්මවික්‍රම කියයි.







