ජාතික ප්‍රශ්නයට තිරසර විසඳුමක් සෙවීම සඳහා දේශපාලන පක්ෂවලින් සමන්විත සර්ව පාක්ෂික සමුලුව අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය.
වර්ථමානයේ රට මුහුණපා ඇති අභියෝග ජය ගැනීම සඳහා සියලු පක්ෂ සමග එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව පසුගිය සතියේ දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පදනම් කරගෙන දේශපාලන පක්ෂ නියෝජිතයෝ එම සමුලුවට එක් වූහ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතා නායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ නායකයින් හා පක්ෂ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.
එහෙත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික ජන බලවේගය, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනාධිපතිවරයා සමග පැවති සර්වපාක්ෂික සාකච්ඡාවට එක් වූයේ නැත.
උතුර නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මෙම සාකච්ඡාවට එක්වූහ. ඔවුන් උතුරේ ජනතාව සම්බන්ධව උද්ගත වී ඇති ගැටලු සහ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස අදහස් දක්වා ඇත.
උතුරේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තේ සාමුහිකව සියලුදෙනාගේ එකඟත්වයෙන් බවත් එවැනි වැඩපිළිවෙළක් සැකසීමට උචිතම අවස්ථාව මෙය බවත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
උතුරේ ප්රශ්නය මෙන්ම ඉදිරියේ දී එළඹෙන ඡන්දය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර තව දුරටත් මේ පිළිබඳව සාකච්ඡා කර තීරණවලට එළඹිය යුතු බවට ප්‍රකාශ වී තිබේ.