පසුගිය 26 වැනිදා ඉරිදා කොළඹ ටවුන්හෝල් අසල දී ජාතික ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් දැඩිලෙස රොගාතුර වූ 46 හැවිරිදි වෘත්තීය ඉංජිනේරුවෙක් වන අජිත් ගමගේ එම ප්‍රහාරයට මුහුණ දුන්න අවස්ථාවේ සිට මේ දක්වාම පසුවන්නේ සිහි මුර්ජා වී දැඩි සත්කාර ඒකකයේ බව ජාතික ජනබලවේගයේ නීතිඥයින් ඊයේ (04) කැඳවා තිබූ මාධය හමුවක් අමතමින් නීතිඥ අකලංක උක්වත්ත පැවසුවේය.
කැස්බෑව ප්‍රදේශයේ පදිංචි වී සිටින අජිත් ගමගේ දෙදරු පියෙකි. ඔහුගේ බිරිය වෘත්තීය වෛද්‍යවරියකි. ඔහු සම්බන්ධව අදහස් දක්වමින් නීතිඥ අකලංක උක්වත්ත මෙසේ ද පැවසුවේය.
“අසාත්මිකතාවයෙන් සිටින සහෝදරයා තවම දැඩි සත්කාර ඒකකයේ පසුවෙනවා. ඒ අවස්ථාවේ සිට මේ දක්වා තවමත් සිහි නොමැතිව ඉන්නවා.”
“ඔහු වයස අවුරුදු හතළිස් ගණනක අයෙක්. ඉංජිනේරුවරයෙක්.”
“මටත් අත්දැකීමක් තිබෙනවා. මගේ කටහඬ තවමත් වෙනස් වූ ලෙසමයි තිබෙන්නේ. මෙතන පාවිච්චි කිරීමට නුසුදුසු කඳුළු ගෑස් ප්‍රමාණයක් පාවිච්චි කළාද යන සැකය නිසා රස පරීක්ෂකට යවා තිබෙනවා. විශාල පිරිසක් සිටින තැනකට කඳුළු ගෑස් එවැනි ආකාරයෙන් එල්ල කරනවාද යන ප්‍රශ්නය තිබෙනවා.”
“ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියා තිබෙනවා යම්කිසි අවස්ථාවක ජන උද්ඝෝෂණයක් විසුරුවා හරිනවා නම්, මිනිසුන්ට විසිරී යාමේ ඉඩ ප්‍රස්ථා තිබෙන ස්ථානවල ඒවා භාවිතා කළ යුතු බවට. ඒ බවක් අපි දුටුවේ නැහැ.
මේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අසාත්මිකතාවයකට ලක්ව නිමල් අමරසිරි සහෝදරයා මරණයට පත් වුනා. ඒ මරණය සම්බන්ධයෙන් පොලීසිය තොරතුරු වාර්තා කර තිබෙනවා මහේස්ත්‍රාත් අධිකරණයට. පශ්චාත් පරීක්ෂණ වාර්තාව ආවාට පසුව අපි බලාපොරොත්තු වෙනවා, මෙය මනුෂ්‍ය ඝාතනයක්ද, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්ද, රාජ්‍ය ත්‍රස්තවාදය භාවිතා කරමින් සිදුවූ ඝාතනයක්ද කියලා. ඒ වාර්තාව ආවාට පසුව අපි මාධ්‍යයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් අපි එහි අයිතිය රඳවා ගන්නවා.” ඔහු කීවේය.