ශ්‍රියානි විජේසිංහ –
ගුවන්තොටුපල පරිශ්‍රය තුළ පීසීආර් පරික්ෂණය සඳහා රසායනාගාරයක් ඉදිකරන ලෙස ජනාධිපතිවරයා පසුගියදා උපදෙස් ලබා දුන්න ද එය ඉදිකිරිමට තව බොහෝ කාලයක් ගතවනු ඇතැයි ද ඇතැම් විට ඒ කාලය එය වසර දෙක තුනක් හෝ විය හැකි යැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඉතා ඉක්මනින් මෙම රසායනාගාරය ඉදිකිරිමට හැකි වුව ද මේ වන තෙක් ඒ සඳහා සෞඛ්‍ය බලධාරින්ගේ අවධානය යොමු වී නොමැති වීම මෙයට හේතුව යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
දැනට ගුවන්තොටුපල පරිශ්‍රයේදී ලබාගන්නා පීසීආර් නියැදි පරික්ෂා කිරීම සඳහා වෙනත් ආයතන වෙත යවන බවත් මේ සඳහා වෛරස් ප්‍රවාහන මාධ්‍යයට අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් ගෙන් අප කළ විමසුමක දී ඔහු සඳහන් කළේ ගුවන්තොටුපල පරිශ්‍රය තුළ රසායනාගාරයක් ඉදිකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්න ද සෞඛ්‍ය බලධාරීන් ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට මෙම රසායනාගාරය ඉදිකර පවත්වාගෙන යාමට දීමේ බලාපොරොත්තුවෙන්ද යන්න පිළිබඳ සැක මතුව ඇති බවකි.
කෙසේ නමුත් ගුවන්තොටුපල පරිශ්‍රය තුළ රසායනාගාරයක් ඉදිකරන ලෙස තම සංගමය පෙබරවාරි මාසයේ දී සෞඛ්‍ය ඇමතිනියට දැනුම් දුන් නමුත් ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසි අවදානය යොමු නොකළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.