වර්තමාන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට අතීත රජ කෙනෙකුටත් වඩා වැඩි බලයක් තිබෙන බවත් එම තත්ත්වය වහා වෙනස් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී නව සභාවාරය විවෘත කරමින් කළ විශේෂ ප්‍රකාශයේදී පැවසීය.
රාජ්‍ය සේවා, අධිකරණ හා පොලිස් කොමිසම වැනි කොමිසම් සභා පත් කිරීමේ බලය සම්පූර්ණයෙන් ජනාධිපති සතු වෙන බවත් එය රටට යහපතක් නොකරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එලෙසම ජනාධිපතිවරයෙකු යන රජෙකු හෝ දෙවියෙකු නොව පුරවැසියන් අතරින්ම පත් වෙන අයෙකු නිසා වෙනම කොඩි ලාංඡන නොතිබිය යුතු බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.
22 වන ව්‍යවස්ථා කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය සියලු දෙනා එක්ව එක්මතිකව සම්මත කළයුතු ද බව ද ඔහු සඳහන් කළේය.
විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බවට ජනාධිපතිවරුන් සිය ඡන්ද පොරොන්දුව වශයෙන් ලබා දුන්නත් කිසිවෙකු එය සිදු නොකළ අතර එක් ජනාධිපතිවරයෙකු එය අහෝසි කළහොත් නැවත පත්වෙන ජනාධිපතිවරයා එය යළිත් ක්‍රියාත්මක කරන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. මේ තත්ත්වය වෙනස් කිරීමට ‘ජන සභාවක’ ඇති වැදගත්කම සඳහන් කරමින් ජන සභාවක් ස්ථාපිත කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
“මේ ජන සභාවෙන් ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යා යුතුද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුත්තේ කෙසේද? වැනි කරුණු කාරනා ගැන සාකච්ඡා කරනවා. සියලු දෙනාගේම අදහස් වීමසීමේ යාන්ත්‍රණයක් අපි සකස් කරනවා. අරගලයට සම්බන්ධ වුණු නොවුණු තරුණ තරුණියන්ට අපි ආරාධනා කරනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න.. මේ ජන සභාව ආණ්ඩුවේ සහයෙන් ක්‍රියාත්මක වෙන පූර්ණ විනිවිද භාවයෙන් කටයුතු කරන ස්වාධීන සභාවක්. එහි කාර්යයන්වලට ආණ්ඩුව අත ගහන්නේ නෑ.. ඔවුන්ගේ අදහස් හා යෝජනාවලට අනුව රටට වඩාත් වැදගත් ක්‍රමය ස්ථාපිත කරනවා..”
වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,
“අපේ රටේ භූගෝලීය පිහිටීම වාසිදායකයි. වර්තමානයේ බලවත්ම ආර්ථිකයන්වලට හිමිකම් කියන්නේ ඉන්දියානු සාගරයේ පිහිටි රටවල්. එහි වාසිය අපි ලබා ගන්න ඕනේ.. හැමදාම ණය ගනිමින් රටක් ගෙනියන්න බෑ. ණය ගැනීම් අවම කර ගන්න ඕනේ.. අපනයනය වැඩි කරන්න කරන්න ඕනේ.. ඒ සඳහා අවශ්‍ය නීතිරීති ඔබ සමඟ එකතු වී සම්පාදනය කරනවා..
අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ අස්ථාවරත්වය නිසා පාඩු සිදුවුණා. මේ තත්ත්වය වෙනස් කරනවා. ලෝකයේ හැම රටක්ම අපේ මිතුරන්. අපි කිසිම පිලකට අයත් නෑ, මිත්‍රශ්‍රීලි විදේශ ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරනවා..
කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වීම නිසා රට ඉදිරියට යන්නේ නෑ. ඒ නිසා අපි ඉදිරි වසර 25ක කාලයකට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරනවා. 2048 වෙද්දී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරන්න බලාපොරොත්තු වෙනවා… මේ සඳහා සියලු දෙනාගේම සහය අවශ්‍යයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම මේ වෙලාවේ ඉතා වැදගත්…
අපි මුහුණ පා සිටින ආර්ථික අර්බුදයේදී අපේ අසල්වැසි රට ඉන්දියාව අපිට ගොඩක් උදව් කළා. ඒ වෙනුවෙන් ඉන්දීය අග්‍රමාත්‍ය නරෙන්ද්‍ර සිං මෝදි මහතා ඇතුලු සමස්ත ඉන්දියාවටම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා..” යයි ද පැවසීය.