2024 වසරේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ග්‍රාමීය, වතු සහ ආර්ථික වශයෙන් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුවියන් ඉලක්ක කර ගනිමින් ජාතික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන, 2026 වසරේ සිට දිවයින පුරා පිහිටි පාසල් ආවරණය වන පරිදි 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශයේදී පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
එම ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් බිලියන 1.44ක් වෙන් කර ඇති අතර සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා සිසුවියන් වෙත වාර්ෂිකව රුපියල් 1,440ක් වටිනා තිළිණපතක් ප්‍රදානය කිරීමටත්, පළාත් අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත එම තිළිණපත් බෙදා හැරීමටත් නියමිතය.
සනීපාරක්ෂක ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි සහතික ලත් ආයතන හරහා පාසල් වෙත ගොස් සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ කටයුතු ඒ අනුව සිදු කෙරේ.
මෙහිදී සිසුවියන්ට තම අභිමතය පරිදි අවශ්‍යතාව අනුව සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම, ප්‍රදේශයන්හි භූගෝලීය විෂමතාවන් මත වවුචර්පත් සහ සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ ක්‍රමවේද සකස් කිරීම සහ පරිසර හිතකාමී ලෙස භාවිතයෙන් පසු සනීපාරක්ෂක තුවා ඉවත දැමීමේ ක්‍රමවේදයක් පාසල් තුළ ක්‍රියාත්මක කිරීම වැනි කරුණු කෙරෙහිද අවධානය යොමු වී තිබේ.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගී වී සිටියහ.







