දිනසේන රතුගමගේ –
ට්‍රෝලර් යාත්‍රා උපයෝගී කරගෙන උතුරු මුහුදේ මසුන් මැරීම නිසා රටේ මත්ස්‍ය සම්පතෙන් විශාල කොටසක් රටට අහිමි වන නමුත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ඉන්දීය ධීවරයින්ට යම් සහනයක් ලැබෙන ආකාරයටත් රටේ මත්ස්‍ය සම්පතට හානියක් නොවන ආකාරයටත් ප්රශ්නය විසඳීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ ජල සම්පාදන හා වැවිලි කටයුතු හා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසුවේය.
තොන්ඩමන් අමාත්‍යවරයා ඊයේ යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් 43 දෙනෙක් හමු වී ඔවුන් සමග සාකච්ඡා කර තිබිණි.
මෙහිදී බන්ධානාර ගත කොට සිටින ඉන්දීය ධීවරයින් තොණ්ඩමන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ඔවුන්ව හැකි ඉක්මනින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසය.
තමන් දෛනික කුළී පදනමක් මත මෙම ධීවර රැකියාව සිදු කරනවා විනා ව්‍යාපාරික මට්ටමකින් එම කටයුත්ත සිදු නොකරණ නිසා තමන්ට සහනයක් සලසා දෙන ලෙසත් ඔවුන් උතුරු මුහුදට පැමිණ මසුන් මැරීම නීති විරෝධී බව දන්නා නමුත් ඔවුන්ගේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ තමන්ට බලපෑම් කොට මසුන් බහුලව සිටින උතුරු මුහුදු කලාපයට ඔවුන්ට යන ලෙස බලපෑම් කරන බවත් ඔවුහු කියති.
තමන් මේ අවදානම් ගමන එන්නේ එදා වේල පිරිමසා ගැනීමට බවද යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් අමාත්‍යවරයාට ප්‍රකාශ කොට තිබේ.
.







