අද (07) නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය ආරම්භ කළ අවස්ථාවේ දී සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ සිදුව ඇති බිඳී යෑම විවෘත ප්‍රකට වූයේය.
ජනාධිපතිවයාගේ ප්‍රධානත්වයෙන් නව පාර්ලිමේන්තු සැසිවාරය අද උදේ 10.30ට ආරම්භ විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජාසන කතාව ආරම්භ කරද්දීම ඊට විරෝධය පළ කළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ කණ්ඩායමක් සභා ගැබින් ඉවත්ව යද්දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් පත්වුන තවත් මන්ත්‍රී කණ්ඩායමක් සභාගර්භය තුළම රැඳී සිටිනු දක්නට ලබුනේය.
දයා රත්නායක සමගි ජන බලවේගයට සම්බන්ධ වීමත් සමග ඊට එරෙහිව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව ඍජුව විරෝධය පලකළ සරත් ෆොන්සේකා සභා ගාර්භය තුළ රැඳී සිටින ආකාරය විශේෂ වූයේය.
හිටපු හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයෙන් ඉවත් නොකරන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පක්ෂයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය. ඒ අනුව දයා රත්නායක පක්ෂයෙන් ඉවත් කරන ලෙස තමන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කරන බව කී සරත් ෆොන්සේකා තමන් පක්ෂය හැර නොයන නමුත් දයා රත්නායකගේ පත් පත් කිරීමට එරෙහිව කටයුතු කරන බව අවධාරණය කළේය. පක්ෂයට කැමති ඕනෑම අයෙකු පිළිගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය හිස් චෙක් පතක් නායකයාට ලබා දී නැති බව ද ඔහු කීවේය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊට පිළිතුරු දෙමින් ගාල්ලේ සමගි ජන බලවේග සම්මේලනයේ දී ෆොන්සේකාට පණිවිඩයක් දෙමින් තැන තැන කයිවාරු නොගහා ඉන්න බැරිනම් පක්ෂයෙන් ඉවත් වෙන ලෙස ද පක්ෂයට ගන්නේ කවරෙක්දැයි තීරණය කරන්නේ තමන් බවද පැවසුවේය. කෙසේ වෙතත් අද සජිත් අනුව සභා ගර්භයෙන් නැගිට නොගිය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සජිත්ට සිය විරෝධය ඍජුවම ප්‍රකාශ කර තිබිණි.
අවස්ථා ගණනාවක දී සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමග එක්වීමට සූදානමින් සිටි රාජිත සේනාරත්න ද පිටව නොගොස් සරත් ෆොන්සේකා සමග සභා ගැබේ රැඳී සිටියේය.
ජනරජ පෙරමුණ පිහිටුවාගත් චම්පික රණවක, කුමාර වෙල්ගම, සහ ඉෂාක් රහුමාන් පිටව නොගියහ.
ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු සහභාගි වී සිටියේ නැත.