රසායනික පොහොර නොමැති වීම කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ප්රමුඛ බලපෑමක් ඇති කර ඇති මෙරට ප්‍රධාන වගාව වන වී වගාව සියයට 33.8න් බිඳ දමා ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ විසින් නිකුත් කර ඇති මේ වසරේ මුල් කාර්තුවට අදාල ජාතික ගිනුම් ඇස්තමේන්තු වාර්තාව හෙළි කරයි.
2015 මූලික පදනම් වර්ෂය ලෙස ගෙන සකස් කර ඇති මෙම වාර්තාවට අනුව 2021 ජනවාරි – මාර්තු මුල් කාර්තුවේ කෘෂිකර්මික වර්ධන වේගය සියයට 6.4ක් බවත්, ඊට සාපේක්ෂව 2022 ජනවාරි – මාර්තු මුල් කාර්තුවේ එම වර්ධන වේගය සියයට ඍණ 6.8ක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි. 2015 සිට මේ දක්වා කෘෂිකාර්මික කටයුතුවල වාර්තා වූ ඉහළම පසුබෑම මෙය බවත් එම වාර්තාවෙන් හෙළි වේ.
රසායනිකක පොහොර හිඟය කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ප්රමුඛ බලපෑමක් ඇති කරන ලද බවත් මේ වසරේ මුල් කාර්තුව තුළ මෙරට ප්‍රමුඛතම වගාව වන වී වගා කිරීම 33.8කින් පහළ බැස ඇති බවත් එහි දක්වා තිබේ.
තේ වගා කිරීම සියයට 15කින්, රබර් වගාව සියයට 13.1කින්, වී නොවන ධ්‍යාන්‍ය වගාව සියයට 9.4කින්, එළවළු වගාව සියයට 8.4කින්, පළතුරු වගාව සියයට 3.8කින් පහළ බැස ඇති ආකාරයත් ඉන් රටේ සමස්ථ කෘෂි ආර්ථික පදනම දෙදරවා ඇති ආකාරයත් ජාතික ගිනුම් ඇස්තමේන්තු වාර්තාව හෙළි කරයි.
“මේ ආර්ථිකය සම්බන්ධව කතා කරන දත්ත සමූහයක්. එය බද්ධ වෙන්නෙ ජාතික ගිනුම් සම්බන්ධව. කෘෂිකර්මාන්තයේ දී අප දකින ක්ෂේත්රඵලයෙන් ලැබෙන අස්වැන්න පිළිබඳවත්, අස්වැන්න අඩුවීම සම්බන්ධවත් නොවෙයි මේ කතා කරන්නෙ. කෘෂිකර්මාන්තය සම්බන්ධව සමස්ථ ආර්ථික ගණනය කිරීමකින් එන අගයක් තමයි මේ දෙන්නෙ. මින් අපට තහවුරු වෙනවා කෘෂිකර්මාන්තය තුළ කොච්චර සංකෝචනයක් 2015ට සාපේක්ෂව වාර්තා වෙලා තියනව ද කියලා… කෙසේ වෙතත් මේ වාර්තාව අනුව හැම ක්ෂේත්රයක්ම බිඳ වැටී නැහැ. උදාහරණ විදිහට පොල් වගාව ගත්තොත් පොල් වගා කිරීම සියයට 16.7කින් වැඩිවෙලා…“
මේ සම්බන්ධව අදහස් දක්වමින් පේරාදෙණිය කෘෂි විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය බුද්ධි මාරඹේ ලංකාසරට පැවසීය.