දිනසේන රතුගමගේ –
ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ ( DTNA ) හදිසි සාකච්ඡාවක් වවුනියාවේදී ඊයේ (18) සවස පැවැත්වී තිබේ.
වවුනියාවේ පෞද්ගලික නිවස්නයකදී පැවති මේ සාකච්ඡාවේදී ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පැවතියහොත් තම පක්ෂය ඊට මුහුණ දිය යුතු අන්දම මෙන්ම පවතින තත්ත්වය තුළ සියළුම දෙමළ දේශපාලන බලවේග එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය වී ඇතැයි වාර්තා වේ.
විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණයේදී උතුරේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම පිණිස දෙමළ පක්ෂවල සැබෑ එකමුතුභාවයක් ඇති කරගත යුතු ආකාරය ද මෙහිදී සාකච්ඡා කොට තිබේ.
එමෙන්ම රජය දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට කිසිදු අනුකූලතාවයක් නොදැක්වීම නිසා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබදව ද මීට පෙර ජනාධිපතිවරයා හමු වී කළ සාකච්ඡා වලදී ජනාධිපතිවරයා වූ පොරොන්දු කිසිවක් ඉටු නොකිරීම සම්බන්ධව ද මෙහිදී අවධාරණය වී තිබේ.
මෙම සාකච්ඡාව සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවශක්ති ආනන්දන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, හා ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ ලේකම් එම්. චන්ද්‍රකුමාර්, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ රත්නලිංගම්, කේ. තුලසි සහ උතුරු පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය කේ. සිවනේසන් ඇතුළු කීප දෙනෙකුම සහභාගී වී සිටියහ.







