දිනසේන රතුගමගේ –
වවුනියාවේ විජයබාහුගමේ වැසියන් පිරිසකගේ දැඩි විරෝධය නිසා වවුනියාව හා අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ එක් කොටසක ඉදි කිරීමේ කටයුතු තවකාලිකව නතර කිරීමට බලධාරීන්ට සිදුවී තිබේ.
ඊයේ එම ඉදිකිරීම් නවත්වා දැමුවේ විජයබාහු ගමේ වැසියන් විසින් විරෝධතාවයක් දියත් කරමින් වසර 32 ක් ඔවුන් ජීවත් වූ ගමට යන එකම මාර්ගය අවහිර කොට දුම්රිය මාර්ගය ඉදි කිරීමට පියවර ගැනීම විශාල ප්‍රශ්නයක් බව ප්‍රකාශ කිරීමත් සමගිනි.
විජයබාහුගම ගම්මානයට පිවිසෙන මාර්ගය ජනතාවට අහිමි වන නිසා කිලෝ මීටර් හතරක් වැඩිපුර දුරක් ගෙවා ගෙන ගමට යා හැකි විකල්ප මාර්ගයක් ලබා දීමට දුම්රිය නිලධාරීන් එකඟ වූවත් ගම්වාසීන් එම විකල්පයට එකඟ නොවී කළින් ගමන් කළ මාර්ගයම අවහිර නොකොට ගම්වාසීන් වෙත ලබා දෙන ඉල්ලා සිටියහ.
මේ විරෝධය පිළිබදව දුම්රිය නිලධාරීන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ දෙපාර්ශ්වය සමග සකච්ඡා කළද ස්ථිර විසඳුමක් නොලැබීම නිසා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නතර කොට දැමීමට දුම්රිය බලධාරීන්ට සිදුව තිබේ.
දුම්රිය නිලධාරීන් සාධාරණ තීන්දුවක් නොගත හොත් සියලු ගම්වාසීන් එක්ව දැඩි විරෝධයක් දියත් කරණ බව ගැටලුව විසදීමට පැමිණි පොලිස් නිලධාරීන්ටද ගම්වාසීහු කියා සිටියහ.
මේ ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලා වවුනියාවේ පරිපාලන නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.