ශ්‍රී ලංකා ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් එක්කර තිබේ.
ජනාධිපතිවරයාට සුබ පතමින් අගෝස්තු 3 වැනි දින අත්සන් කළ ලිපියක මහලේකම්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය ගෙන ඒමේදී සහ මෙරට මුහුණ දී සිටින වත්මන් අභියෝගවලින් ගොඩ ඒමට සුදුසු පරිසරයක් සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික උපාය මාර්ගයක් සැකසීමේදී සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කිරීමට ජනාධිපතිවරයාගේ කැපවීම වැදගත් බවද ජගත් මහලේකම්වරයා පෙන්වා දී තිබේ.
නීතියේ ආධිපත්‍යයට සහ මානව හිමිකම් වලට ගරු කිරීම සහතික කරමින්, මහජනතාව සමඟ අදහස් විමසීම ඇතුළුව සියලු පාර්ශ්වකරුවන් අතර සංවාදයකට ඔහු ජනාධිපතිවරයාව දිරිමත් කළේය.
එමෙන්ම කාන්තා දේශපාලන සහභාගිත්වය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් ජගත් මහ ලේකම්වරයාගේ පැසසුමටද ලක්විය.
“ශ්‍රී ලංකාවේ රජයට සහ ජනතාවට ඔවුන්ගේ කෙටිකාලීන හා දිගු කාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා සහාය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් වන අතර සාමය, තිරසාර සංවර්ධනය සහ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරයි.”
යනුවෙන්ද එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර තිබිණි.