දිනසේන රතුගමගේ –
අයහපත් කාලගුණික තත්ත්වය නිසා තාවකාලිකව නතර කොට තිබූ ඉන්දියාවේ නාගපට්ටන හා යාපනයේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන නෞකා සේවය පෙබරවාරී මස 1 දා සිට යළි ආරම්භ කෙරෙන බව ඉන්දීය “සිවගංගී “ නැව් සේවාව අද (9 ) දා නිවේදනය කොට තිබේ.
මෝසම් සුළං ආරම්භ වීමට පෙර ඉන්දියාව හා කන්කසන්තුරේ අතර යාත්‍රා කළ ” චෙරියපානී” නැව් සමාගම ඉන්දියාව හා කන්කසන්තුරේ නැව් සේවාවෙන් මෙවර ඉවත් වී සිටින අතර ඒ වෙනුවට ඉන්දියාවේ ශිවගංගී නැව් සේවාව ඔවුන්ගේ යාත්‍රාවක් මෙම සේවාවට එක් කොට තිබේ.
ඒ අනුව පෙබරවාරී මස 01 දා ඉන්දියාවේ නාගපට්ටන සිට උදෑසන පෙරවරු 8 ට සිවගංගී නැව ඔවුන්ගේ මංගල චාරිකාව කන්කසන්තුරේ දක්වා ගමන් ආරම්භ කරන අතර පෙරවරු 11. 45 ට එම නැව කන්කසන්තුරේට ළගා වීමට නියමිතය.
එක් මගියෙකු සදහා තනි ගමන් ගාස්තුව රුපියල් 26000 ක් වන අතර එක් වාරයකදී කිලෝ ග්‍රෑම් 60 ක බරක් සමග මගීන් 150 කට මෙම නෞකාවේද ගමන් කළ හැකි වේ.
මෙම නැව් සේවාවෙන් ගමන් කරන මගීන් සදහා ජනවාරි මස 15 වෙනිදා සිට යාපනයේ ස්ථාන තුනකදී හා ඉන්දියාවේ ස්ථාන 12 කදී අදාල ටිකට් පත් මිලට ගැනීමටද කටයුතු සූදානම් කොට ඇත.
සතියේ ඉරිදා දිනය හැර අනෙක් දින හය පුරාම දෛනිකව මෙම නැව් සේවාව පවත්වා ගෙන යන බවද ශිවගංගී නැව් සේවාව නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.