තායිවානය ආසන්නයේ චීනයේ යුධ ක්‍රියාකාරකම් වැඩිවීම මධ්‍යයේ, තායිවාන ජනපතිනි සායි ඉන්ග්-වෙන් (Tsai INg-Wen) චිත්ත ධෛර්යය ඉහළ නැංවීමේ ප්රයත්නයක් ලෙස එරට ප්‍රහාරක ජෙට් ගුවන් නියමුවන් හමුවී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගියදා උතුරු නගරයක් වන හසෙන්චයු හි ගුවන් හමුදා කඳවුරකට ගිය ඇය හදිසි අවස්ථාවලදී ගුවන් නියමුවන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා නිර්මාණය කර ඇති උපකරණ පිළිබඳව කරැණු සොයා බැලූ බව සදහන් වේ.
වත්මන් ජාත්‍යන්තර තත්ත්වය සහ පුළුල් වෙමින් පවතින අධිකාරීවාදය හේතුවෙන් ඔවුන්ට දැඩි මෙහෙයුම්වලට මුහුණ දීමට සිදුව ඇති බව තමන් අවබෝධ කරගෙන සිටින්නේ යැයි ඇය ගුවන් නියමුවන් 70 දෙනෙකු පමණ යුත් කණ්ඩායමකට පැවසූ බව NHK World වාර්තා කර තිබේ.
නිරතුරැවම තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කරන චීන ගුවන් යානාවලට මුහුණ දෙන ගුවන් නියමුවන් විශාල පීඩනයකට ලක් වී සිටින අතර ජනවාරි සහ මාර්තු මාසවල පුහුණුවීම් අතරතුර තායිවාන ප්‍රහාරක ජෙට් යානා දෙකක් කඩා වැටී තිබිණි.
ජනවාරි සිට මාර්තු 22 දක්වා චීන හමුදා ගුවන් යානා 250 කට වැඩි ප්‍රමාණයක් තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට (ADIZ) ඇතුළු වී ඇති බවත් එම සංඛ්‍යාව පෙර වසරේ එම කාලයට වඩා දෙගුණයකින් වැඩි වී ඇති බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබේ.