ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 15000- 20000ක් ප්‍රමාණයක් සහිතව කොළඹ වරායට බලහත්කාරයෙන් ඇතුළු වීමට පැමිණි Hippo Spirit චීන නෞකාව ලංකාවේ කිසිම වරායකට ඇතුළත්කර නොගන්නා ලෙස ප්‍රධාන නෞකාධිපතිවරයා විසින් නියෝග කර ඇත.
මේ තත්වය මත මේ වනවිට Hippo Spirit නෞකාව නාවික සැතපුම් 12ක් දුරින් දෙවුන්දර තුඩුව ආසන්නයේ නවත්වා තබාගෙන ඇති බව වාර්තා වේ.
මේ සීමාව ලංකාවේ වරායක් වෙත ලඟා විය හැකි ආසන්නම සීමාව බවත් නෞකාව නැංගුරම් ලා නැති බවත් වරාය ආරංචි මාර්ග හෙළි කරයි.
මේ වනවිට එම නෞකාව මෙරට තිබෙන සියලුම වරායවලින් අඛණ්ඩ නිරීක්ෂණයකට ලක් කරමින් සිටින බව වාර්තා වේ.
පොහොර සාම්පල් සම්බන්ධව ලංකාවේ පර්යේෂනාගාර ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර පසුගිය මස 23 දා චීනයේ ක්වින්ඩාවෝ වරායෙන් පිටත් වූ මෙම නැව පසුව ලංකාවට පැමිණීම නවත්වා සිංගප්පූරුවට ගමන් කළේය.
නැව කොළඹ වරායට පැමිණීමට සූදානම් බවත් 23 දා වරායට ඇතුළවන බවත් පසුගිය 22 දා චීන පොහොර සමාගම විසින් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දන්වන තුරු එවන් ගමනක් ගැන කෘෂිකර්ම බලධාරීන් නිශ්චිත ලෙස දැනගෙන සිටියේ නැත.
අනතුරුව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා තමන්ට ඇති බලතල යොදා ගනිමින් මෙම නැව කොළඹ වරායට ප්රවේශවීම වළක්වා ප්‍රධාන නෞකාධිපතිට ලිඛිත දැන්වීමක් කළේය.