චීන කුණු පොහොර ලංකාවට ගෙන්වනු ලැබූ ක්වින්ඩාවෝ සීක්වීන් බයෝටෙක් ආයතනය පිහිටා ඇති චීනයේ ක්වින්ඩාවෝ (Qingdao) නගරය හා ලෝක උරුම මහනුවර නගරය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීම අද (15) සිදු කෙරුණි.
ඒ අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ චීනයේ චින්ඩාවෝ නගරාධිපති Zhao Haozhi එක්විය. චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන ද ඒ අවස්ථාව සඳහා එක් වී සිටියේය. මහනුවර නගරය වෙනුවෙන් එහි නගරාධිපති කේසර සේනානායක අදාළ ගිවිසුමට අත්සන් තැබුවේය.
මෙම අවස්ථාවට සහභාගි වීම ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහනුවර මහ නගර සභාවට පැමිණි සිටියේය. ඔහු ඊයේ සිට මහනුවරය. මෙම ගිවිසුමට අනුව ක්වින්ඩාවෝ නගරය සහ මහනුවර නගරය අතර ආර්ථික, තාක්ෂණික, අධ්‍යාපනික, සංස්කෘතික, ආගමික හා ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය වනු ඇත.
මේ අවස්ථාවේ දී මහනුවර පුරපති කේසර සේනානයක චීන සහයෝගීතාවයේ ඉතිහාසය ගැන කීවේය. වර්තමානයේ දක්වා අසීමිත සහයෝගය ගැන කෘතඥ වුණේය.
මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ඉලාහි ආබ්දීන්, විපක්ෂ නායක සේන දිසානායක යන මහත්වරු ඇතුළු නාගරික මන්ත්‍රීවරු සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.