ලෝක බැංකුව විසින් මෙම සතියේ නිකුත් කළ නවතම වාර්තාව මගින් මෙම වසර සඳහා පුරෝකථනය කළ චීනයේ ආර්ථික වර්ධන වේගය අපෙක්ෂිත මට්ටමට වඩා අඩු අගයක් ගනු ඇති බවට අනාවරණය කළේය.
මෙම වසරේ ජුනි මාසයේදී චීනයේ 2022 වර්ෂය සඳහා වූ ආර්ථික වර්ධනය සියයට 4.3 පමණ වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කළද මේවන විට එම අගය සියයට 2.7 ක අගයක් ගනු ඇති බවට අදාල වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
ලෝක බැංකු වාර්තාවට අනුව මෙම වසරේදී චීනයේ තරුණ විරැකියාව, කෙටි කාලීන සහ ව්‍යුහාත්මක සාධක යන කාරණා දෙකම හේතුවෙන් ඉහළ ගොස් ඇත. අඟහරුවාදා නිකුත් කරන ලද ලෝක බැංකු වාර්තාවට අනුව, මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී චීනයේ තරුණ විරැකියාව සියයට 18ක ප්‍රතිශතයට ආසන්නව පැවති අතර කොරේනා වසංගත කාලය තුළ තරුණ විරැකියාව අසමාන ලෙස ඉහළ ගිය බවද එම වාර්තාව පෙන්වා දෙයි.
කොරෝනා වසංගතයත් සමග චීන රජය විසින් දැඩි සංචරණ සීමා පැනවීමත් එමගින් කර්මාන්ත ශාලා වල මෙහොයුම් කටයුතු වලට දැඩි බලපෑමක් එල්ලවීමත් එරට ආර්ථිකයට දැඩි බලපෑමක් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස චීන ආර්ථිකයේ ඉල්ලුම පහළයෑමත් සමගම විරැකියාව වර්ධනය වීමක් සිදුවූ බවද ලෝක බැංකුව පෙන්වා දෙයි.