දිනසේන රතුගමගේ –
-
චාවකච්චේරිය රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට පහර දුන් පිටින් පැමිණි මැර දොස්තරලා අත් අඩංගුවට නොගැනීම නිසා ව්‍යසනයක් වන ලකුණු… රෝහල අසල උද්ඝෝෂණ වැඩි වෙයි…
-
චාවකච්චේරි වෙළෙඳ සංගය හෙට කඩ වසා හර්තාල් ව්‍යාපාරයක් ඇරඹීමට සැලසුම් කරයි.
යාපනය චාවාකච්චේරී රෝහලේ සියලු කාර්ය මණ්ඩලය විසින් දියත් කොට ඇති වර්ජනය හේතුවෙන් රෝහලේ වැඩ කටයුතු සියල්ල අඩපණ වීම නිසා එම රෝහලේ වාට්ටු වසා දමා නේවාසික රෝගීන් වෙනත් රෝහල් වෙත 6 දා මාරු කොට යවා ඇත.

එම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුර ඉගෙනීමේ කටයුතු සඳහා විදෙස් ගත වීමත් සමගම අලුතෙන් නියෝජ්‍ය වෛද්‍ය අධිකාරිවරයෙකු පත් කොට තිබේ.
ඔහු රෝහලට පැමිණි දිනයේම සියලු කාර්ය මණ්ඩල සමග සාකච්ඡා කොට රෝහලේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති අතර ඔහු උතුරේ සෞඛ්‍ය බලධාරීන් හා ඉහළ පෙළේ වෛද්‍යවරුන් විසින් කරගෙන යන දූෂණ හා වංචනික ක්‍රියා සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත යවා ඇත.
මේ ගැන කිපුණු යාපනයේ වෛද්‍යවරු පිරිසක් එම වීඩියෝව ඉවත් කර ගන්නා මෙන් බල කොට ඇති අතර ඔහු එම වීඩියෝව ඉවත් කිරීම වෙණුවට තවත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත යොමු කොට තිබේ.
මේ හේතුව මත යාපනයේ සිට පැමිණි වෛද්‍යවරුන් පිරිසක් ඔහුගේ ජංගම දුරකතනය උදුරා ගෙන ඔහුට පහර දී ඇත.
නියෝජ්‍ය වෛද්‍ය අධිකාරීවරයාට පහරදීමට විරෝධය පලකිරීම පිණිස රෝහලේ සියලුම කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබේ.
මේ අතර රෝහලේ ප්‍රශ්න විසඳා මහජනතාවට නිසි සේවයක් ලබා දෙන ලෙස ඉල්ලා පළාතේ වැසියන් පිරිසක් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබූ අතර එම උද්ඝෝෂණය තීව්‍ර වීම නිසා පොලීසිය උද්ඝෝෂණ කරුවන් ඉවත් කිරීමට පියවර ගත්තේය. ඒ අවස්ථාවේදී පොලීසිය සමග ගැටුමක් ඇතිකර ගත් චාවකච්චේරී මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එස්. ක්‍රිෂෝර් නැමැත්තා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔහුව ඇප මත නිදහස් කිරීමට චාවාකච්චේරී පොලීසිය පියවර ගෙන තිබේ.
රෝහලේ කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමේ අරමුණින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ද උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාද ලේකම්වරයාද තවත් ඉහළ පෙළේ නිලධාරීන් රැසක්ද චාවකච්චේරී රෝහල වෙත පැමිණ ඇතත් මේ දක්වා ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි වී තිබේ.
මේ අතරවාරයේ චාවාකච්චේරී එක්සත් වෙළඳ සංගමය හා තවත් සංවිධාන කීපයක් එක්ව චාවාකච්චේරී රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට පහර දුන් වෛද්‍යවරු අත් අඩංගුවට ගන්නා ලෙසත් රෝහලේ කටයුතු යථා තත්ත්වයට පත් කරණ ලෙසත් ඉල්ලමින් ජූලි මස 8 වෙනිදා සිය නගරයේ සියලුම වෙළද සැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කොට තිබේ.
ඒ සම්බන්ධයෙන් පත්‍රිකා බෙදීමක්ද මේ වන විට සිදු කොට තිබේ.







