මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට සුදුසු ආරක්ෂාවක් පිළිබඳව කටයුතු යෙදෙන තෙක් ඔහු පදිංචි නිවාසය වෙත පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර ඇති බව පොලිසිය මාධ්‍ය නිවේදනයක් මඟින් පවසයි. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඔහුට ආරක්ෂාවක් ලබා දෙන ලෙස අධිකරණයෙන් කරන ලද නියෝගයට අනුව මේ වනවිට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය අදාළ සුදුසු ආරක්ෂාව පිළිබඳව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ උපදෙස් පතා ඇති අතර එම උපදෙස් ලැබෙන තෙක් මෙලෙස සමරවික්‍රම මහතාගේ නිවස වෙත ආරක්ෂාව සැලසීමට කටයුතු කර ඇත.
පසුගිය සිකුරාදා කැස්බෑව මාහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම නියෝගය ලබා දුන් අතර මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ එම නියෝගය පොලිසියේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය වෙත ලැබුණු බවයි. එ අනුව පොලිස්පතිවරයා විසින් ඊට අදාළ උපදෙස් සඳහා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයට යොමු කරනකු ලැබ ඇති අතර එම අමාත්‍යංශ ලේකම්වරයා ඊට අදාල මඟපෙන්වීම් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියෙන් විමසා ඇති බවද නිවේදනයේ තවදුරටත් දැක්වෙයි. සමරවික්‍රම මහතාට අවශ්‍ය සුදුසු ආරකෂාව පිළිබඳව එමස අධිකාරියෙන් උපදෙස් ලැබෙන තෙක් අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සුදුසු ආරක්ෂාවක් ලබා දීමට පියවර ගන්නා ලෙසය. එ අනුව බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙලෙස නිවසට රැකවරණය ලබා දීමට පියවර ගෙන ඇති බවද එහි සඳහන් වේ.