වර්තමානයේ අප රට මුහුණ පා ඇති දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් ගලවාගෙන එක්ව ඉදිරියට යාහැකි වැඩපිළිවෙළක් ලබන වසරේ මුල රටට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පක රණවක අද (26) මහනුවර දී ප්‍රකාශ කළේය. ඔහු මේ බව කීවේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක එම වැඩපිළිවෙළ ගැන දැනුම්වත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහදී මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
“මේ රට ඉතා ඉක්මනින් මුල්‍යම වශයෙන් බංකොලොත් වීමේ දැඩි අවදානමකට මුහුණ පා තිබෙනවා. එහෙම වුනොත් ඒ රට දශක ගණනාවක් යන තුරු නැවතත් යථා තත්වයට පත්කර ගැනීමේ හැකියාවක් නෑ. නමුත් මුදල් ඇමතිලා, මහා බැංකු අධිපතිලා , රාජ්‍ය නායකයෝ අද මේ බව මහජනතාවගෙන් වසන් කරගෙන හීන කතා කියමින් සුරංගනා ලෝක මවමින් ගමනක් යන්න උත්සාහ කරනවා.“
“මේක ඉතාමත් භයානක තත්ත්වයක්. අපි ලබන ජනවාරි මස ඇතුළත මේ රට ණය බරින් ගලවාගෙන ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ණය උගුලෙන් ගැලවී ලා රට ගොඩනගන හැටි මෙහි පැහැදිලිවම සඳහන් වෙනවා. පාට පක්ෂ භේදයකින් තොරව සාමූහිකව සියලු දෙනාම එක්ව ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් තමයි අපි ගෙන එන්නේ.“
“අද අපේ රට මුහුණ පා සිටින මූල්‍ය අර්බුදය ඉතාමත් බරපතලයි. ඉදිරි මාස තුන ඇතුළත මේ රට පූර්ණ වශයෙන් බංකොලොත් වීමේ බරපතළ අවදානමක් උද්ගතව තිබෙනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා කියලත් මේ තත්ත්වය වළක්වන්න බෑ. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවානම් අඩුම තරමින් 2000 වසරේවත් ඒක කරන්න තිබුණා. දැන් පමා වැඩියි.“
“මහ බැංකු අධිපති කියන සුරංගනා කතා මේ රටේ ජනතාව පිළිගත්තත් ඒක ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ. මේ අය කියන විදියට යුගදනව් බලාගාර ගිවිසුමෙන් තවම මේ රටට එක ඩොලරයක් වත් ඇවිල්ලා නෑ. ඇමරිකාවේ බංකොලොත් සමාගමත් එක්ක තමයි මේ ගිවිසුම අත්සන් කරන්නේ. මේකෙන් වෙන්නේ මේ රටේ තියන අන්තිම ඩොලර් ටිකත් එලියට යන එකයි. මෙමඟින් වෙන්නේ අපේ රටේ ඉන්ධන හා ගෑස් බලාධිකාරිය ඇමරිකාව සතු වෙන එකයි. මේක අපේ රටේ ජාතික ආරක්ෂාවටත් බලවත් තර්ජනයක්. “
“අද ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ බසිමින් තිබෙනවා. ඉන්ධන මිල පහල යන අවස්ථාවේ මිල ඉහළ දැමූ එකම රට වශයෙන් ලංකාව ඉතිහාස ගත වෙනවා. අද වන විට රජය ඉන්ධන ලීටරයකින් රුපියල් 89 ක් අයුතු ලාභයක් ලබනවා. අද විදුලිබල මණ්ඩලයට පවා ඉන්ධන ලබා ගැනීමේ අර්බුදයක් තියෙනවා. ඉදිරියේදී වැස්ස නැත්නම් අනිවාර්යෙන්ම විදුලිය කැපීමක් කරනවා. මේ වනවිටත් ජනතාවට නොදැනෙන්න දවසකට විනාඩි 45 ක් විදුලිය කපනවා.“
“මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියන සුරංගනා කතා වැඩි කාලයක් කියන්න වෙන්නේ නෑ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියන්නේ පාලකයන්ව නොමඟ යවලා රටම අමාරුවෙ දාන පුද්ගලයෙක්. කබ්රාල් කියන්නේ ඒ වගේ වැඩ වලට කප් ගහපු පුද්ගලයෙක්.ග්‍රීක බොන්ඩ්, හෙජින් ගනුදෙනුව, බැඳුම්කර හොරකම් වගේ දේවල් වලට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන සුදුකරපටි හොරෙක් තමයි කබ්රාල් කියන්නේ.“
“ඉතා නුදුරු කාලයේදීම මේ අයට මේ කරන අපරාධ වලට වගකියන්න වෙයි. අද මේ රටේ ජනතාව සෑම අතකින්ම තැලිලා මිරිකිලා දරන්න පුළුවන් අන්තිම ආර්ථික ගැටලු රැසකට මැදි වෙලා ඉන්නේ. එහෙම තිබියදී මේ රටේ පාලකයෝ ඇතුළු රජයේ මැති ඇමතිවරු තියෙන ඩොලර් ටිකත් වියදම් කරමින් පිටරට සැපගන්න සවාරි යනවා. අඩුම වශයෙන් ද මේ රටේ ජනතාවට අවශ්‍ය ඖෂධ ටික ගන්නවත් ඩොලර් නැහැ. අත්‍යවශ්‍ය ආහාර පාන දන්න ඩොලර් නැහැ. නමුත් සවාරි යන්න ඩොලර් තියෙනවා.මේ රටේ මහජනතාවගේ ප්‍රකම්පනය මුදාහරින දවස වැඩි ඈතක නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන්.“