ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ ප්‍රබල සාක්ෂිකරුවෙකු බව හෙළිදරව් වී තිබේ.
2015 පෙබරවාරි 27 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර රජයට අසාමාන්‍ය අරමුදල් අවශ්‍යතාවයක් හෝ මිල සංවේදී තොරතුරක් පිළිබඳව තමාට වාර්තා නොවුණු බව ඔහු පවසා තිබිණි.
තමා දන්නා පරිදි රජයේ මුදල් අවශ්‍යතාවය එම වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රචාරය කරන ලද මුදල බව ඔහු ප්‍රකාශ කර තිබූ අතර බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් පිළිබඳව තමා දැනුවත් වූ බව ෂාෆ්ටර් සිය ප්‍රකාශයේ දැක්වූයේය.
එකක් නම් මෙම වෙන්දේසියේදී පිළිගත් ලංසු ප්‍රමාණය ඉදිරිපත් කළ මුදලට වඩා 10 ගුණයකින් වැඩි වීමය. අනෙක පොලී අනුපාතිකයේ අගය එකල වෙළඳපොලේ පැවති ප්‍රමාණයට වඩා 300කින් ඉහල ගොස් තිබීමයි.
දිනේෂ් ෂාෆ්ටර්ගේ වැඩිදුර සාක්ෂි අනුව ඔහුගේ ප්‍රාථමික අලෙවි නියෝජිත සමාගම වෙන්දේසියේදී ලංසු තැබීමට අදහසක් නොතිබුණද සියලුම ප්‍රාථමික අලෙවිකරුවන්ට ලංසු තැබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වූ බැවින් එසේ කර තිබිණි. තම සමාගම වෙන්දේසියේදී ‘ඩමි ලන්සුවක්’ තැබුවේ එම ලංසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි අපේක්ෂාවෙන් බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මහ බැංකුව අනපේක්ෂිත ලෙස එකල වෙළඳපල අනුපාතවලට වඩා වැඩි අගයක් සහිත ලංසු භාර ගැනීමට තීරණය කළ බැවින්, දිනේෂ් ෂාෆ්ටර්ගේ සමාගම විසින් ඉදිරිපත් කරන ලද “ඩමි ලංසුව“ ද පිළිගනු ලැබීය. මෙම තීරණය නිසා තම ප්‍රාථමික අලෙවි නියෝජිත ආයතනයට විශාල මුදලක් වැය වූ බව ඔහු කොමිසම හමුවේ කියා සිටියේය.
භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට නිර්දේශ ඉදිරිපත් කිරීමට අභාවප්‍රාප්ත දිනේෂ් ෂාෆ්ටර් ඉදිරිපත් කළ සාක්ෂි ඉතා වැදගත් විය.
මෙම කරුණු සැලකිල්ලට ගත්විට අභාවප්‍රාප්ත දිනේෂ් ෂාෆ්ටර්, කුප්‍රකට භාණ්ඩාගාර බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසමේ ප්‍රබල සාක්ෂිකරුවෙකු වූ බව කිව හැකියැයි ‘නිව්ස්ෆස්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.
ෂාෆ්ටර් එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයෙකු ලෙස මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ සුදුසුකම් ලැබූවෙකි. නීති උපාධි ධාරියෙකි.
දිනේෂ් ෂාෆ්ටර් නායකත්වය දුන් බහුවිධ මූල්‍ය සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක විය. ඒ අතර ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී, ඔහු කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ලැයිස්තුගත කර ඇති සමාගමකි.