පසුගියදා සපුගස්කන්ද කසළ ගොඩක දමා ගිය ගමන් මල්ලකින් හමුවූ ඝාතනය කළ කාන්තවගේ මිනී මරුවන් අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය අද (06) සමත් විය.
කොළඹ මාලිගාවත්ත නිවාස සංකීර්ණයක පදිංචි මොහොමඩ් ෂාෂි පාතිමා මුම්ටාස් නැමති මෙම කාන්තාව ඝාතනය කර මළ සිරුර බෑගයක දමා සපුගස්කන්දේ කුණුගොඩකට රැගෙන ගොස් අත්හැරීමේ සිද්ධිය සම්බන්ධව සැකපිට අඹු සැමි යුවලක් මේ ලෙස පොලිස් අත්අංඩගුවට පත් වී තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
පොලිස් පරීක්ෂණවල දී පොලිසිය සැක කරනු ලැබුවේ ඝාතනයට ලක් වූ කාන්තාව අවසන් වරට ගිය ඇයගේ මිතුරිය යැයි කියන රොෂානා නැමැති තැනැත්තිය සහ ඔහුගේ සොයුරා මෙම ඝාතනයට සම්බන්ධ විය යැකි බවය. ඒ වනවිට ඔවුන් දෙදෙනා අතුරුදහන් වී ඇති බව ද පොලිසිය කීවේය.
ඒ ඔස්සේ පරීක්ෂණ ඇරඹූ පොලිසිය ඝාතනයට ලක් වූ කාන්තාව අවසන් වරට ගිය මට්ටක්කුලිය නිවසේ පදිංචිව සිටි රොසානා නැමැති කාන්තාව හා ඔහුගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රශ්නකීරීම්වල දී සැකකරුවන් සියල්ල හෙළි කර ඇත. ෆාතිමා මුම්ටාස් නැමැති කාන්තාව ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් රොසානා නැමැති තැනැත්තියත් ඉතාම දැඩි ලෙස සූදුවට ඇබ්බැහිවූ අයෙක් බව හෙළි වී ඇත. ඇය කොළඹ ප්‍රදේශයේ සූදුපොළක දී තමන් සන්තක සියලු දේ පැරදී අවසානයේ දී සිය මගුල් මුද්ද උකස් කර සූදු කෙළ එයත් පැරදී තිබේ.
උකස බේරා ගැනීමට දින කීපයක් තිබිය දී එයා උකසින් මුදවා දෙන ලෙස රොසානා ඝාතනයට ලක්වූ ෆාතිමාගෙන් ඉල්ලා ඇත. ෆාතිමාත් දැඩි ලෙස සූදුවට ඇබ්බැහි වූ කාන්තාවක් මෙන්ම සූදු පොලවල පරදින අයගේ රන් භාණ්ඩ හා වෙනත් උපකරණ උකසට ගැනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන්නියකි.
රොසානාගේ ඉල්ලීම මත ෆාතිමා පසුගිය 28 වැනිදා සිය නිවසින් ගොස් ඇත්තේ රොසානාගේ මුද්ද උකසින් බේරාගෙන යම් මුදලක් ඇයට ලබා දී මුද්ද තමන් සන්තකයේ තබා ගන්නා අරමුණනි.
උකස බේරාගැනීමට රොසානා සහ ෆාතිමා ගොස් ඇත්තේ රොසානාගේ සොයුරාට අයත් ත්‍රී රෝද රථයෙනි. උකස බේරාගත් පසු රොසානා, ෆාතිමාට ඇයගේ නිවසට පැමිණ තේ කෝප්පයක් බොන ලෙස ආරාධනා කර තිබේ.
එම ආරාධනාව පිළිගත් ෆාතිමා මට්ටක්කුලියේ රොසානාගේ නිවසට පැමිණ ඇත.
තේ පානය කරමින් සිටින විට පිටුපසින් පැමිණි රොසානාගේ සොයුරා ෆාතිමාට පොල්ලකින් පහර දී මරා දමා තිබේ. අනතුරුව සිරුර නිවස තුළම රඳවා තබාගෙන ඇත. එදින රාත්‍රියේ නිවසට පැමිණි රොසානාගේ සැමියාට ඝාතන සිද්ධිය කියා කිසිවෙකුට මේ ගැන නොදන්වන සේ සැල කර තිබේ.
මේ අතර මළ සිරුර ගමන් බෑගයක ඇසිරූ රොසානා සහ සොයුරා සිය නිවසේ වොෂින් මැෂින් එක සහ ෆ්‍රිජ් එක කැඩී ඇති බැවින් එය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය බව කියා කුලියට කුඩා ලොරි රථයක් ගෙන්වාගෙන ඇත. ඊට විදුලි උපකරණ පටවන අතරම ෆාතිමාගේ මළ සිරුර සහිත බෑගය ද පටවා තිබේ.
එසේ පටවාගත් මළ සිරුර වැල්ලම්පිටියේ දී රොසානාගේ සොයුරා විසින් සිය ත්‍රී රෝද රථයට පටවාගෙන පැමිණ සපුගස්කන්ද කුණු ගොඩට අතහැර ඇත. මළ සිරුර කණුගොඩට අත්හැර ඇත්තේ පසුගිය 29 දාය. ඇය මිය ගිය පසුව ඇය සතුව තිබූ රන් භාණ්ඩ සහ මුදල් ඔවුන් විසින් පැහැර ගනු ලැබ ඇති අතර මේ වනවිට එම භාණ්ඩද සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ. ෆාතිමාගේ අතුරුදහන්වීම සම්බන්ධව ඇයගේ සැමියා පසුගිය 01 දා බ්ලූමෙන්ඩල් පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

මනුෂ්‍ය ඝාතන සිද්ධිය සම්බන්ධව සැකපිට රොසානා සහ රොසානාගේ සැමියාත් අත්අඩංගුවට ගෙන තිබේ. සොයුරා පලාගොස් සැඟවී සිටී. ඔහුව සොයා මෙහෙයුම් ආරම්භ වී ඇත.
සපුගස්කන්ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් ගේ මෙහෙවීමෙන් සපුගස්කන්ද පොලිසීය විමර්ශන සිදුකරයි.







