දිනසේන රතුගමගේ
පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් තමන්ව අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් අද (10 ) පැවසීය.
ඔහු එසේ පැවසුවේ යාපනය මහාධිකරණය මගින් ඔහුව ඇපමත නිදහස් කිරීමෙන් අනතුරුව ඒ පිළිබදව තොරතුරු විමසූ අවස්ථාවේදීය.
”මගේ එකම අරමුණ යාපනය නගරය පිරිසිදුව තබා ගැනීමයි. ඒ වෙනුවෙන් මමත් මහ රෑ පාරට බැහැලා කුණු කාණු හේදුවා. තවත් මම නගරාධිපතිවරයා වශයෙන් යාපනය පිරිසිදුව තබා ගන්නට යමක් කරන්න තියනවානම් මම ඒක කරනවා.“
“මට මේ රට බෙදන්නවත් තිබුණු සංවිධාන වලට පණ පොවන්නවත් ඕනේ නැහැ. මම කළේ මට ඇති බලය අනුව නගරයේ පිරිසිදුකම පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්න වෙනම බලකායක් පිහිටුවන්නයි .ඒලට පොලිස් කියන වචනය දාගෙන තියෙන්නේ මම නෙමෙයි.“
“මේ අය ඇඳගෙන ඉන්න ඇදුම කොටි පොලීසියේ ඇදුමම කියලා ඔප්පු කරන්නයි පොලිස් ත්‍රස්ත මර්දන අංශයට උවමනා වුණේ. මේකට දකුණේ මාධ්‍ය සහ සිංහල බෞද්ධ බලවේග විශාල ප්‍රචාරයක් ගෙන ගියා. මේ ඇදුම කොටි පොලීසියේ ඇදුම කියලා ඔවුන් කියන්නේ ඒකේ පාට නිසයි. එහෙමනම් ගුවන් හමුදාවේ ඇදුමත් මේ වගේමයි. ඒකටත් එරෙහිව කටයුතු කරන්න සිද්ධ වෙනවා. තවත් බොහෝ පෞද්ගලික ආරක්ෂක අංශත් මේ පාටටම ඔවුන්ගේ නිල ඇදුම් භාවිත කරනවා .දෙමළ අය මේ පාට ඇන්දම තමයි වැරදි. මේක තමයි විශාලම අසාධාරණය.“
“මේ වගේ පුංචි දෙයක් වෙනුවෙන් නගරාධිපතිවරයෙක් අත් අඩංගුවට ගැනීම කොතරම් වැරදිද නීත්‍යානූකූල නොවන්නේද කියන දේ දැන් වැටහෙන්න්ට ඕනේ. ලෝකයේ රටවල් ගණනාවක් මේ නීති විරෝධී අත් අඩංගුවට ගැනීම හෙළා දැක නිවේදන නිකුත් කොට තිබෙනවා .මමත් මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවරක් ගන්නවා.”