තුෂාරී කළුබෝවිල
උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති “ගුලාබ්” සුළි කුණාටුව කාලිංගපට්ටනම් වෙරළ තීරය හරහා උතුරු ආන්ද්‍රා සහ ඔඩීෂා ප්‍රාන්තයට ඇතුළු නමුත් එහි බලපෑමෙන් තවදුරටත් දිවයිනට වැසි හා සුළං පවතින බවත් කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අධික වැසි හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහකට මේ වනවිට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබේ.
ගත වූ පැය 24 තුළ මිලිමීටර් 75කට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් එම දිස්ත්‍රික්කවල නායයාම් අවදානම ඇති බව ජාතික ගොඩනැගිල්ල පර්යේෂණ ආයතනය පවසයි.
ඒ අනුව ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය, නෙළුව ද කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල ද මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, කොටපොල ද නුවරඑළිය දිස්ත්‍රික්කය අඹගමුව ද රත්නපුර දිස්ත්රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, කලවාන, නිවිතිගල හා රත්නපුර ද මෙසේ නායායාම් අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බව
පෙන්වා දී ඇත.
මේ අතර කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මන්නාරම සිට කොළඹ, ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර දැඩි සුළං තත්ත්වයක් පවතින බැවින් ධීවර හා නාවික කටයුතු අවදානම් බවයි. එසේ ම තවදුරටත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ යන පළාත්වල මෙන් ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 100 ඉක්මවූ වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.