ගුරු විදුහල්පති වෘත්තීය අරගලයට දින 71ක් පිරෙද්දී ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ස්වධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක වන ගුරුවරියක් වූ ශ්‍රිනි නීලිකා ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වනු ලබන්නේ ආණ්ඩුවේ උවමනාවන් ඉටු කරන පොදු ජන අධ්‍යාපන සේවක සංගමය සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර අතර එකඟතාවයකින් ඇති වූ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි.
මෙය සැලසුම් සහගත නාටකයක් බව ද එම සංගමය පෙන්වා දෙයි.
“ප්‍රශ්නයක් වුනාම කියමු. පොලිසියට නොකිය ඇමතිට කියන්නෙ ඇයි?. “
මුලින්ම ඔවුන් ප්‍රශ්න කරති. අනතුරුව එම පිටපත ගොඩනැගෙන ආකාරය ඔවුන් නිවේදනය කරන්නේ මෙසේය.
- සැප්තැම්බර් 16 දින පොදුජන අධ්‍යාපන වෘත්තීය සේවක සංගමයේ පිරිසක් වර්ජනයේ නිරත ගුරුවරුන්ට තර්ජනය කරන බව අමාත්‍ය සරත් වීරසේකට පැමිණිලි කරයි.
- ඉන් පසු සැප්තැම්බර් 17 දා සරත් වීරසේකර ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වමින් වර්ජනයට සහභාගී නොවන ගුරුවරුන්ට තර්ජනය කරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බව කියා ඒ සම්බව කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි.
- එදිනම පොලිස් මූලස්ථානය ද නිවේදනයක් නිකුත් කරමින් එවැනි තර්ජන සිදුවන්නේ නම් 119 දුරකථන අංකයට හෝ ලඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස දන්වයි.
- එම දැනුම් දීමට පසු දා එනම් 18 දා ඉහත නම සඳහන් විදුහල්පතිවරයා සහ ගුරුවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.
මෙහිදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය පෙන්වා දෙන්නේ වෘත්තීය සමිති ආඥා පනත අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගුරු විදුහල්පතිවරු දැනුම්වත් කිරීමට නීත්‍යානුකූල අයිතියක් තමන්ට ඇති බවය. සියලු ගුරු විදුහල්පතිවරු ස්වේච්ඡාවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව නිරතවෙමින් ඇති බවය.
මේ තත්වය තුළ වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවලාද නගමින් සිටින පොදු ජන අධ්‍යාපන සේවක සංගමය විසින් ආණ්ඩුවේ උවමනාව මත සිදුකරන කුමන්ත්‍රණයක් ලෙස මෙම ගුරු විදුහල්පති නියෝජිතයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හැඳින්විය හැකි බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය කියයි.