ජනතා විරෝධය මැද පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථක කාබනික පොහොර වැඩපිළිවෙළ අනුව අදාළ කාබනික පොහොර ලබා ගැනීම සඳහා 2021 සහ 2022 දෙවසර තුළ රජය මඟින් රුපියල් බිලියන 121ක් එනම් රුපියල් කෝටි 12100ක් වැය කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
අද පැවති පාර්ලිමේන්තු අයවැය විවාදයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවරව මේ බව අනාවරණය කරමින් විස්තර කළේ 2021 වසරේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා නිෂ්පාදකයන් 34 දෙනකුට රුපියල් මිලියන 66848ක් ( බිලියන 66ක්) ගෙවා ඇති අතර 2022 වසරේ යල කන්නය සඳහා පමණක් මේ වනවිට එම පොහොර නිෂ්පාදකයන් සඳහා රුපියල් මිලියන 46470ක් ගෙවා ඇති බවය. ඔවුන්ට තවත් රුපියල් බිලියන 9.7ක ගෙවීමට ඇති අතර මෙම සමස්ත මුදල රුපියල් කෝටි 12000ක් ඉක්මවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් විසින් 27 (2) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රි ලංකාවේ සහතික කරන ලද කාබනික පොහොර නිෂ්පාදකයන් අඩු ප්‍රමාණයක් සිටින අතර මෙම පොහොර ලබාගෙන ඇත්තේ සහතික නොකරන ලද පොහොර නිශ්පාදන ලෙස බවයි. එම පොහොර පරිසර හිතකාමී පොහොර ලෙස හඳුන්වා අති බවද ඔහු එහිදී සඳහන් කළේය.
රසායනික පොහොරවලින් තොරව මෙම සහතික නොකරන ලද පරිසර හිතකාමී නමින් හැඳින්වූ පොහොර යොදමින් සිදු කළ 2021 මහ කන්නයේ වී අස්වැන්න සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයකින් අඩුව ඇති බවට දැනට වාර්තා වන අතර නිශ්චිත සංඛ්‍යාලේඛන නුදුරේදීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවද පැවසීය.
එක් එක් විද්වතුන් යැයි කියා ගන්නා පුද්ගලයන් වෛද්‍යවරුන් ඇතුළු මේ කාබනික වැඩපිළිවෙළ සඳහා උපදෙස් දුන් අය දැන් කතා නොකරන බවත් මේ තත්ත්වය නිසා අපේ ආහාර නිෂ්පාදනය අඩුවීම පමණක් නොව විශාල ප්‍රශ්න ගණනාවකට ජාතිය මුහුණ දුන් බවත් සිහිපත් කළ අමාත්‍යවරයා මෙම අසාර්ථක වැඩපිළිවෙළ නිසා අද මේ රටේ ජනතාවට අපේ රටේ තහනම් කළ ප්‍රමිතියකින් තොර රසායනික යෙදා පිටරටවල වගා කළ සහල් පරිභෝජනයට ගන්නට සිදුව ඇති බවද ප්‍රකාශ කළේය.







