අලි මිනිස් ගැටුම නිසා පසුගිය වර්ෂ 5 තුළ දී මිනිස් ජීවිත 558 ක් සහ වන අලි ජීවිත 1678ක් රටට අහිමි වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි .
2017 වර්ෂයේ අලි මිනිස් ගැටුම නිසා මිනිස් මරණ 87ක් ද වන අලි මරණ 256ක් ද සිදුව තිබේ. 2018 වර්ෂයේ මිනිස් මරණ 96ක්ද, වන අලි මරණ 319 ක් ද, 2019 වර්ෂයේ මිනිස් මරණ 122 ක්ද, වන අලි මරණ 407ක් ද , 2020 වර්ෂයේ මිනිස් මරණ 112ක්ද, වන අලි මරණ 327ක් ද, 2021 වර්ෂයේ මිනිස් මරණ 141ක්ද, වල් අලි මරණ 369 ක් ද , සිදුව තිබේ.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් දත්ත වලට අනුව 2020 වර්ෂයට වඩා 2021 වර්ෂයේ දී අලි මරණ මෙන්ම මිනිස් මරණ ද ඉහළ ගොස් ඇත. 2020 ට වඩා 2021 දී මිනිස් මරණ 29කින් හා වල් අලි මරණ 42කින් ඉහළ ගොස් තිබේ.
වනජීවි කලාප වශයෙන් ගත්විට 2021 දී වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් වන 148 ක්, වාර්තා වී ඇත්තේ උතුරුමැද කලාපයෙන් බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. ඒ වර්ෂයේ වන අලි පහර දීම නිසා වැඩිම මිනිස් මරණ සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ නැගෙනහිර වනජීවී කලාපයෙනි. ඒ සංඛ්‍යාව 34කි.
අලි මිනිස් ගැටුම නිසා මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2019 වර්ෂයේ ය.
විවිධ හේතූන් නිසා වන අලි මරණ සිදුවන අතර 2021 වර්ෂයේ දී හක්ක පටස් ගිල දැමීමෙන් පමණක් වල් අලින් 65 ක් මිය ගොස් ඇති බව වනජීවී නිලධාරීහු වැඩි දුරටත් පැවසූහ.
හක්ක පටස් ගිල දැමීම , විදුලි සැර වැදීම, වෙඩි තැබීම , විෂ ශරීරගතවීම, දුම්රියේ ගැටීම ආදිය නිසා වල් අලි මරණ බහුතරයක් සිදුව ඇති බවද තව දුරටත් සඳහන් කළහ.







