අද සිට දිනකට ගෑස් ටැංකි අසූ දහස බැගින් නිකුත්කරමින් ගෑස් බෙදා හැරීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම කී ප්‍රකාශ කරයි.
මේ වනවිට වෙළෙඳපලේ ගෑස් ටැංකි ලක්ෂ හතලිහක හිඟයක් ඇති පසුබිමක සති 05ක කාලයකින් පසු ගෑස් බෙදා හැරීම ආරම්භ වී තිබේ.
ගෑස් බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ඊයේය. එහෙත් පෙරේදා පස්වරුවේ දිවයිනට ලඟා වූ ගෑස් මෙට්‍රික් ටොන් 2800ක් රැගත් නෞකාවේ අඩංගු ගෑස් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොඩබෑමට නොහැකි වූයේය.
අනතුරුව එම නෞකාව කොළඹ වරාය වෙත රැගෙනවිත් පසුව බවුසර මගින් ගෑස් කෙරවලපිටිය ගෑස් තොග ගබඩා පර්යන්තය වෙත ප්‍රවාහනය කළේය.
මෙම තත්ත්වය හමුවේ ඊයේ ලිට්‍රෝ සමාගමට නිකුත් කිරීමට හැකියාව ලැබී තිබුණේ ගෑස් සිලින්ඩර 8,000ක් පමණි. අද ගෑස් බෙදා හැරීම ආරම්භ වන බවත් මේ වනවිට තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3800ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වී ඇති බවත් ලිට්‍රෝ සමාගම නිවේදනය කළේය.
කෙසේ වෙතත් දැනට රට තුළ ඇති වී තිබෙන උග්‍ර ගෑස් හිඟය සමනය කර ගැනීමට තව දින විස්සක් පමණ ගතවනු ඇතැයි විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුවේ දී කීවේය.