බිලියන ගණක මුදල් වංචාවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවේ ප්‍රධානම කොටස් කාරියක් බවට හෙළි වීම නිසා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති කුප්‍රකට ක්‍රිස් ගනුදෙණුවේ ප්‍රධාන චරිතයක් වූ ජානකී සිරිවර්ධනත්, තිළිණි ප්‍රියමාලිත් ආරක්ෂාව ගැන සලකා දෙතැනක රඳවා ඇති බවත් ජානකී සිරිවර්ධන රඳවා ඇත්තේ මීගමුව බන්ධනාගරයේ බවත් බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා ඇති තිළිණි ප්‍රියමාලි සමග එම බන්ධනාගාරයේම ජානකී සිරිවර්ධන රඳවා තැබීමෙන් ඔවුන් දෙදෙනා එක්ව සාක්ෂි විනාශ කිරීමට සැලසුම් කරනු ඇති බවට වින්දිත පාර්ශවයන්ගෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ජානකී සිරිවර්ධන මීගමු බන්ධනාගාරයේ රඳවා තැබීමේ තීරණය ගෙන ඇත.
එමෙන්ම දෙදෙනා අතර යම් ගැටුමක් ඇතිවීමේ අවකාශයක් පිළිබඳව ද බන්ධනාගාර නිලධාරීන් ඇගයීමක් කර තිබිණි. දෙදෙනා කුළුපග මිතුරන් සේ ඇසුරු කළත් මෙම මුදල් ගනුදනුවත් සමග ඇති වී තිබුණු විරසකය හෙළි කරන හඬ පට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබිණි.
පසුගිය 05 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය අනුව ජානකී සිරිවර්ධන වැලිකඩ බන්ධනාගාරයට රැගෙන විත් ලියාපදිංචියට අදාල ලේඛණ කටයුතු සිදුකළ වහාම මිගමුව බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත.







