වසර දෙකක් පුරා පැවති අතිශය ම්ලේච්ඡ යුද ගැටුමකින් අනතුරුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ගැටුම අවසන් කළ හැකි සාම ගිවිසුමක පළමු අදියර සඳහා නිල වශයෙන් එකඟ වී තිබේ.
මෙම ගිවිසුම එක්සත් ජනපදය ප්‍රමුඛ කලාපීය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් ඉදිරිපත්වන යෝජනාවක් වටා සකස් කරන ලද්දකි. මෙම ගිවිසුම ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද පුළුල් කරුණු 20ක සාම සැලැස්මක කොටසක් ලෙසින් එළි දක්වා තිබේ.
මෙම ගිවිසුමට සටන් විරාමයක්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ කලින් තීරණය කළ රේඛාවකට ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම ඇතුළත් වේ.
ගිවිසුමේ ප්‍රධාන විධි විධාන අනුව ගිවිසුම අනුමත කර පැය 72ක් තුළ හමාස් සංවිධානය දැනට ඔවුන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරනු ඇත.
මෙම සටන් විරාම ප්‍රවේශයට ඊශ්‍රයාලයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දුන් පසු පැය 24ක් ඇතුළත ගාසා තීරය තුළ එකඟ වූ රේඛාවකට තම හමුදා ඉවත් කරගනු ඇත.
එමෙන්ම දිගු සිර දඬුවම් විඳිමින් සිටින පලස්තීන ජාතිකයින් ඇතුළු පලස්තීන සිරකරුවන් විශාල සංඛ්‍යාවක් ඊශ්‍රායලය නිදහස් කිරීමට නියමිතව තිබේ.
මේ වනවිට ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම ගිවිසුම ඊශ්‍රයාලයට විශිෂ්ට දිනයක් ලෙස නම් කර ඇති අතර ගිවිසුම අනුමත කිරීම සඳහා ඔහුගේ කැබිට් මණ්ඩලය අද (09) රැස්වන බව ද නිවේදනය කර තිබේ.
හමාස් සංවිධානය ද ගිවිසුමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම ඊශ්‍රායලය කොන්දේසිවලට අනුකූල වන බව සහතික කරන ලෙස ඊජිප්තුව, කටාර් සහ එක්සත් ජනපදය ඇතුළු මැදහත්කරුවන්ගෙන් හමාස් සංවිධානය ඉල්ලා තිබේ.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මෙම සාම ගිවිසුම පිළිගෙන තිබේ. ඒ සදමා පූර්ණ සහයෝගය පල කරන එම සංවිධානයේ මහ ලේකම් අන්තෝනියො ගුටරෙස් දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටින්නේ සියලුම කොන්දේසි සම්පූර්ණයෙන්ම සහ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරන ලෙස ය.
මෙම ගිවිසුමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සංහිඳියාව තීන්දු කරනු ඇතැයි ජාත්‍යාන්තර විචාරකයෝ පවසති.
පැවති යුද්ධයෙන් ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 67,000ක් මිය ගොස් ඇත. තවත් ගණනය නොකළ දහස් ගණනක් සුන්බුන් යට සිටිති. ඝාතනය වූ ජන ගහණය යුද්ධයට පෙර පලස්තීනයේ ජනගහණයෙන් සියයට 3කි.







