(ලලිත් චාමින්ද)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් සිව් දෙනෙකු විසින් තවත් රැඳවූවකුට බෙලෙක් තහඩුවකින් පහරදීම නිසා එම රැඳවූවා කැපුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
ඊයේ (19) පස්වරුවේ දි මෙම සිද්ධිය වී ඇති අතර රැඳවූවන් සිරමැදිරියට දැමීමට යාමේ දී එහි සිටි රැඳවූවන් සිව් දෙනෙකු විසින් මෙම රැඳවූවාට බෙලෙක් තහඩුවකින් ගෙල ප්‍රදේශයට පහර දී ඇත. මෙකී පහරදීමෙන් රැඳවූවාගේ ගෙලට සුළු තුවාල වී ඇති බැව් බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. තුවාල ලැබු රැඳවූවා හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළ අයෙකි. මොහු මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රැඳවූවන් දේපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව මෙම පහරදීම වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙකී දේපාර්ශවයේම රැඳවූවන් එක් සිර මැදිරියක සිට ඇත. මේ පිළිබඳ ගාල්ල බන්ධනාගාර අධිකාරි පුලින කරුණාරත්න මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.
රැඳවූවන් හතර දෙනෙකු විසින් බෙලෙක් තහඩුවකින් පහරදීම සිදුකොට ඇති බවට හඳුනාගෙන තියෙනවා. තුවාල ලැබු රැඳවූවාගේ ගෙල ප්‍රදේශයට තමයි සුළු තුවාල වෙලා තියෙන්නේ. මෙම පහරදීමට සම්බන්ද රැඳවූවන් සිව් දෙනාට එරෙහිව බන්ධනාගාර විනිශ්චිය මණ්ඩලය ඉදිරියේ නඩු පවරා දඩුවම් ලබා දීමට කටයුතු කරනවා. එමෙන්ම එම රැඳවූවන් සිව් දෙනා ගාල්ල බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකිරීමට කටයුතු කරන බවද ගාල්ල බන්ධනාගාර අධිකාරි පුලින කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.