වන සත්ත්ව හානි සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන ලෙස ගොවීන් හිටපු ආණඩු ගණනාවකට ඉල්ලීම් ඉදිරිපත් කළත් ඒ කිසිවකින් ඔවුන් ට විසඳුමක් ලබා නොදුන් බවත් කතා සාප්පු නතර කර ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබාදීම තම මූලික අරමුණ බවත් කෘෂිකර්ම,පශු සම්පත්, වාර්මාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසයි.
පාර්ලිමේන්තුවේ කළ කතාවත් සමඟ දැන් ප්‍රශ්නය සම්බන්ධව සමාජය තුළ බරපතළ කතා බහක් නිර්මාණය වී තිබෙන බවත් තමන් ට අවශ්‍යය සංවාදය එලෙස ගොඩ නැගීම පිළිබඳව සතුටු වන බවත් ඔහු කීය.
කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.
“වන සතුන් ගෙන් වගාවට සිදුවන හානි අවම කිරීම සඳහා ප්‍රශ්නයෙන් පීඩා විඳින ගොවි ජනතාව ද කොටස් කරුවන් කර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත වෙනම කාර්යාංශයක් මගින් විශේෂ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි ජනතාව, විද්වතුන් මෙන්ම පරිසර සංවිධාන ද ඒකාබද්ධ කර ගන්නවා. ප්‍රශ්නයෙන් පීඩා විඳින ගොවි ජනතාව පැත්තකින් තියලා ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීමට යාම ප්‍රායෝගික නැහැ. ඒ නිසා ගොවීන් මෙහි ප්‍රබල කොටස්කරුවෙකු කරගත යුතුයි. ”
“දශක දෙක තුනක පටන් මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. ගොඩක් අය ඉදිරපත් කරන්නේ දීර්ඝ කාලීන විසඳුම්. කතා සාප්පු වලට පමණක් සීමා වූ සාකච්ඡා නිසා ගැටලුව එන්න එන්නම උග්‍ර තත්ත්වයට පත්ව තිබෙනවා. වගා හානියට අමතරව ඒ හා ගැට ගැසුණු තවත් ප්‍රශ්න රැසක්ද තිබෙනවා. ගොවීන් වගාව අත්හරින තැනට මේ වනවිට ප්‍රශ්නය බරපතළ වී තිබෙනවා. අනිත් පැත්තෙන් රැකියා අවස්ථා පවා ඇතැම් අයට අහිමි වී තිබෙනවා. දිගු කාලීන උත්තර වලට වඩා ගොවීන්ට දැන් අවශ්‍යය වී තිබෙන්නේ කෙටි කාලීන විසඳුමක්. කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවියාට වග කියනවා නම් අපි මේකට මැදිහත් වෙන්න ඕන. මේ සම්බන්ධයෙන් මත දක්වමින් සිටින පරිසරවේදීන් ඇතුළු සියලු පාර්ශවයන්හි කාර්යය අපි අගය කරනවා. මේ ප්‍රශ්නය දිහා තුලනාත්මක බලන අය වගේම අන්තවාදීව බලන පරිසකුත් ඉන්නවා. මේ හැමෝම දායක කර ගනිමින් විසඳුමක් කරා යායුතුයි කියන එක තමයි මගේ හැඟීම.”
“ප්‍රශ්නයේ තරම දන්නේ ඉන් පීඩා විඳින අය යි. ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට යාමේ දී යම් යම් සංවේදී කාරනා ඉස්මතු වෙනවා. පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන මඩ ප්‍රහාර මම ගණන් ගන්නේ නැහැැ. මේ වැඩේ කරන්න ඕන කියන අධිෂ්ඨානය ඇතිව අපි වැඩ කරනවා. විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේ දී ගොවි ජනතාව එහි ප්‍රබල කොටස්කරුවන් විය යුතුයි. ප්‍රශ්නයට විසඳුම් අවශ්‍යය අය පැත්තකින් තියලා හදන වැඩසටහන් ප්‍රායෝගික නැහැ. මේ ගැටලුවට විසඳුමක් ලැබේ යැයි කියන විශ්වාසය තාමත් ගොවී ජනතාවට නැහැ. මීට පෙර තිබුණේ කතා විතරයි කියන හැඟීම ඔවුන් තුළින් පහව ගොස් නැහැ. ”
“ඒ නිසා කතාවෙන් එහා ගිය ඔවුන් ද දායක කරගත් ව්‍යාපෘතියක් මේ සඳහා අවශ්‍යය යි. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවශ්‍යය සංවාදය දැන් සමාජයේ ගොඩ නැගී තිබෙනවා. මට අවශ්‍යය වුණේ එතන්ට පාර කපන්නයි. ඒ සංවාදයට එක් වූ සියලු දෙනාට මම ස්තූතිවන්ත වෙනවා. මොක ද කතා සාප්පු වලින් බැහැරව අපි දැන් වන සත්ත්ව හානි අවම කර ගැනීම සඳහා වන නිශ්චිත ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.”







