ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයෙක් වූ සෙවනගල කමල් බන්ධුල වීරප්පෙරුමගේ ආයුර්වේද ඖෂධාලය නීති විරෝධීව වටලා එහි කංසා තිබූ බවට චෝදනා කරමින් සේවකයින් සිව් දෙනෙක් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් තුන් දෙනෙක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
2016 වසරේ සෙවනගල ප්‍රදේශයේ පිහිටි කමල් බන්ධුල වීරප්පෙරුම ගේ මෙම ආයුර්වේද ඖෂධාලය වැටලීමට සුරාබදු නිලධාරීන් කටයුතු කර තිබිණි.
මෙම ක්‍රියාව තුළින් අදාළ නිලධාරීන් ද්වේෂ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් තම බලය අවභාවිත කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශ විය.
අදාළ ඖෂධාලයේ හිමිකරුවූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම සහ එහි සේවකයින් හතරදෙනකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණි.
ඒ අනුව අදාළ වැටලීමට සහභාගී වූ බොරැල්ල, සුරාබදු හා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ස්ථානාධිපති නන්දන පෙරේරා, එහි සුරාබදු පරීක්ෂක තිලක් කුමාර දිසානායක සහ සුරාබදු නියාමක එන්. එස් රත්නායක යන නිලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව එම නිලධාරීන් තුන්දෙනා විසින් රුපියල් ලක්ෂ 04 බැගින් සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම ඉදිරිපත් කළ ඖෂධාලයේ හිමිකරු වූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුමට ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන් වුණි.
අදාළ වැටලීම තුළින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අදාළ ඖෂධාලයේ සේවකයින් හතර දෙනෙකුට වගඋත්තරකාර නිලධාරීන් තුන්දෙනා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය නියෝගයේ සඳහන් වෙයි.
ඊට අමතරව පෙත්සම්කරුවන් පස්දෙනාට රජය විසින් රුපියල් 10,000/- බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් එම කොමිසම වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.
ඊට අමතරව වගඋත්තරකාර සුරාබදු නිලධාරීන් තුන්දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර ඇත. – දෙරණ







