උපවාසයක් කරන්නට පෙර කෝප් කමිටු සභාපති ධූරයෙන් රෝහිත අබේගුණවර්ධන ඉවත් කරන බව දැනුම් දෙන්නට නොහැකි නම් පාර්ලිමේන්තුවට පැමිණ උපවාසයක් කරන්නට සිදුවන බව නලීන් බණ්ඩාර ජයමහ අද ( 20) පාර්ලිමේන්තුවේ දී කීවේය.
නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මේ බව පවසන්නේ මේ වනවිට කෝප් කමිටු සාමජිකයින් 8 දෙනෙක් එම කමිටුවෙන් ඉල්ලා අස් වී ඇති පසුබිමකය. අද උදේ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වූයේය.
මේ වනවිට ඉරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ, ෂානක්කියන් රාසමානිකිකම්, හේෂා විතනගේ, එස්.එම්. මරික්කාර්, මහාචාර්ය චරිත හේරත්, සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඊයේ මේ සම්බන්ධව ප්‍රශ්න කළ නලීන් බණ්ඩාර අදත් පාර්ලිමේන්තුවේ දී කෝප් කමිටු සභාපතිවරයා සම්බන්ධව ප්‍රශ්න කළේය.
“ කෝප් කමිටුවේ සාමාජිකයො 8ක් ඉවත් වුනා. මම ඉවත් වෙන්නේ නැතිව රජය පැත්තෙන් අන්තිම වතාවට මේ අහන්නේ. මේ කෝප් කමිටටුවට පත් කළ සභාපතිවරයා සම්බන්ධව රජය පැත්තෙන් තීන්දුවක් ගන්නව ද. මොකද මේක දැන් හෑල්ලුවට ලක් වෙලා තියෙන්නේ. “
“කරුණාකරලා මේ සභාපතිවරයාට ඉවත් වෙන්න සලස්වලා අලුත් සභාපතිවරයෙක් පත් කරන්න. මේ රටේ ජනතාවට විහිලු සපයන්න එපා. ඔබතුමාලා හරි හරි කියනවා. කිසිම උත්තරයක් දෙන්නෙ නෑ.”
“හෙට උදේ මෙතන ඇවිත් උපවාසයක් කරන්න වෙන්නේ.” මන්ත්‍රීවරයා කීවේය.