කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය දැරූ මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න දෙවන ධුර කාලය සඳහා සුදුසුකම් සැපිරූ ලයිස්තුවේ අංක 1 ස්ථානයේ සිටිය දී ඇය යළි පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගත් පියවර පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ප්‍රශ්න කර තිබේ.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති නීතිඥවරයා මෙසේද සඳහන් කරයි.
“ආර්ථික අර්බුදයෙන් උගත යුතු එක් පාඩමක් වන්නේ මහ බැංකුව වැනි ආයතනවලට ස්වාධීන හා දක්ෂ පුද්ගලයින් පත් නොකිරීමේ ප්‍රතිවිපාකයි. එවැනි අසාර්ථකත්වයක් රටට විනාශකාරී බව ඔප්පු වී ඇත.
ඊයේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න සිය පළමු ධුර කාලය අවසන් කළාය. ඇය සිය ධූරයෙන් ඉවත් වූයේ ජනාධිපතිවරයා විසින් ඇයව ඉදිරි ධුර කාලය සඳහා තෝරා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
නමුත් ඇය උපකුලපති ධුරය සඳහා විශ්වවිද්‍යාල පාලක සභාව විසින් ලයිතුගතකර ඇති විද්වතුන් අතර අංක 1 ස්ථානයේ සිටී. එමෙන්ම ඇය වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් උපකුලපති ධුරය සඳහා නම් කරන ලද ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත.
එවන් පසුබිමක ජනාධිපතිවරයා විසින් ඇයව නැවත උපකුලපති ධූරයට පත්කිරීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණ වන්නේ කෙසේ දැයි මම කල්පනා කරමි.
අපේ විශ්වවිද්‍යාල දියුණු වීමට නම් ඒවා දේශපාලන පාලනයෙන් ඉවත් කළ යුතු අතර රාජ්‍ය නායකයාගේ පෞද්ගලික අභිමතය පරිදි නොව කුසලතා මත පමණක් සිදුකළ යුතුයි.”