විගමනික ශ්‍රමිකයන්ගේ අයිතීන් වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොලේ පවතින අවස්ථාවන් වර්ධනය කිරීම සහ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශන නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුළට ගෙන්වා ගැනීම ගැන අවධානය යොමු කරමින් කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී හමුව හෙට (12) ආරම්භ වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ හෙට (12) ශ්‍රී ලංකාවේ නායකත්වය යටතේ ආරම්භ වන කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී රැස්වීම සම්බන්ධයෙන් අද (11) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිණි.
කොළඹ ක්‍රියාවලිය ක්ෂේත්‍ර තුනක් යටතේ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම් ශ්‍රී ලංකාවේ නායකත්වය යටතේ දෙසැම්බර් 12 සිට 14 දක්වා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව නිපුණතා සහ සුදුසුකම් හඳුනාගැනීම, ලාභදායී වේගවත් සහ ආරක්ෂිතව ප්‍රේෂණ හුවමාරුව, සහ සාධාරණ හා සදාචාරාත්මක බඳවා ගැනීමේ පිළිවෙත් යන ක්ෂේත්‍ර තුන යටතේ මෙම ක්‍රියාකාරී රැස්වීම් පැවැත්වීමට නියමිතය.
මෙම තේමාත්මක ක්ෂේත්‍ර 3 හි සභාපතිත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශ රජයන් විසිනි. සමුළුවේ තුන්වන දින විදේශ රැකියාවලින් අනතුරුව ආපසු සිය රට බලා යන සාමාජික රටවල විගමණික ශ්‍රමිකයින් තිරසාර ලෙස සමාජගත කිරීම සඳහා සහාය වීමේ අභියෝග සහ අවස්ථා සාකච්ඡා කිරීම සඳහා දැනුම සංසදයක් බිහිකිරීමද ඇතුළත් වේ.
නැවත පැමිණෙන විගමණික ශ්‍රමිකයින් නැවත සමාජගත කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සපයන “දකුණු ආසියානු සංක්‍රමණික සේවකයන් සඳහා නැවත සමාජගත කිරීම පිළිබඳ කලාපීය අත්පොතක්” එළිදැක්වීම මෙම අවස්ථාවට ඇතුළත් වේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහය ඇතිව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් මෙම අත්පොත හඳුන්වා දෙනු ලැබේ.
සක්‍රිය කොළඹ ක්‍රියාවලියේ සාමාජික රටවල් එකොළහක නියෝජිතයින් සහ සිවිල් සමාජය, පෞද්ගලික අංශය, වෘත්තීය සමිති, විද්වතුන්, දකුණු සහ අග්නිදිග ආසියාවේ කම්කරු සංක්‍රමණ පාලනය (GOALS) වැඩසටහන ක්‍රියාත්මක කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ නිරීක්ෂකයින් ද මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.