කොළඹ 3 පෞද්ගලික රෝහලකින් රුපියල් එක්කෝටි දස ලක්ෂයක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය අපූරු උපක්‍රමයක් යොදා ගෙන තිබේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී උක්ත පෞද්ගලික රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟ පැමිණි සැකකරු මිටියකින් ගසා සේප්පුවක් කඩා එහි තිබූ ඉහත සඳහන් මුදල් සොරකම් කරගෙන තිබිණි.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට පලාගොස් සිටි 28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමට කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ සහය ඇතිව පොලිසිය විසින් උගුලක් අටවා තිබේ.
ඒ අනුව කාන්තා කොස්තාපල්වරියට මෙම සැකකාර තරුණයා සමග දුරකථනයෙන් පෙම් සබඳතාවක් ගොඩනගා ගැනීමට සලස්වා සැකකරුවා රවටා පිටකොටුව ප්‍රදේශයට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.
පසුව සැකකරු සිය නොදුටු පෙම්වතිය හමුවීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගන්නා විට සැකකරු සතුව තිබී ඇත්තේ ඔහු පැහැරගත් එක්කොටි දස ලක්ෂයක මුදලින් රුපියල් 275,000 ක් පමණි..
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී එම මුදලින් . කඩුවෙල ප්‍රදේශයේ සිටින සිය පෙම්වතියකට රුපියල් 150,000ක් පමණ වටිනා ගෘහ භාණ්ඩ ද ඔහුවිසින් පරිත්‍යාග කර ඇති බව හෙළි වී ඇත. එම භාණ්ඩ ද පොලිසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







