ඊයේ ( 07) රාත්‍රියේ කොටහේන 16 වැනි පටුමගේ දී හිසට වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 04 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇතැයි විමර්ශන ආරංචි මාර්ග පවසයි.
යාපනයේ මනිපායි ප්‍රදේශයෙන් තිදෙනෙක් ද කොළඹ ප්‍රදේශයෙන් එක් අයෙක් ද මෙසේ අත් අඩංගුවට පත් වී ඇත. සිද්ධියට සම්බන්ධව සැකකරුවන් හය දෙනෙක් හඳුනාගෙන ඇති අතර තවත් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වයි.
ඝාතකයින් විසින් භාවිතා කළ මෝටර් රථය ආමර්වීදිය ප්‍රදේශයේ අත් හැර දමා ගොස් තිබිය දී සොයා ගෙන ඇත. අපරාධය සඳහා යොදා ගත් තවත් මෝටර් රථ දෙකක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.
මෙසේ ඝාතනය වන්නේ කොටහේනේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පූකුඩුකන්නා නැමැති සංවිධානාත්මක අපරාධකරුවාගේ සමීපතමයෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකරන්නට ඇත්තේ දැනට විදේශගතව සිටිනා අපරාධකරුවෙක් වූ පලනි රිමෝෂන් නැමැත්තාගේ අනුගාමිකයින් පිරිසක් බව විමර්ශන අංශ සැක පහළ කරයි. මේ දෙපාර්ශවය අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව ඇති වීතිබෙන ගැටුම මේ ඝාතනයට හේතු වන්නට ඇතැයි ද විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබේ.







