කොටදෙණියාව වනාතමුල්ල ප්‍රදේශයේ අල්කයිඩා ලෙස හඳුන්වන දාමරික කණ්ඩායමේ තවත් මැරයෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
ඒ අනුව මේ වනවිට එම සිදුවීම්වලට අදාලව තිදෙනෙක් පොලිස් අත්අඩංගුවේ පසුවේ. මින් දෙදෙනෙක් චීවරධාරීන් වීම විශේෂත්වයකි.
මෙම මැර කණ්ඩායම පසුගිය 15 වැනිදා තුන් හැවිරිදි සහ හය හැවිරිදි දැරියන් දෙදෙනෙක් ඝාතනය කිරීමට උත්සාහ කරද්දී එය වැළැක්වීමට ගිය වියපත් යුවලක් කඩුවලින් කපා කොටා දමා තිබීමත් සමග සිද්ධිය ඉස්මතුවී ඉහළට පැමිණියේය.
සෑහෙන කාලයක් තිස්සේ මේ මැර කල්ලියේ පීඩාවට පත් වී සිටින ගැමියන් මුවින් නොබැන සිටියත් මේ ප්‍රහාරයත් සමග එක්ව ඒ සම්බන්ධව එළිපිට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක නිරත වූහ.
මේ කල්ලියේ තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කීවේය.
මේ අතර මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම මැර කල්ලිය මර්ධනය කිරීම සම්බන්ධව කොටදෙණියාව ගැමියන් සහ ප්‍රජා නායකත්වය සහිතව විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. එහිදී ගැමියෝ මෙතෙක් තමන් අත්විඳි දුක්ගැහැට මෙන්ම පොලිස් නිලධාරීන් මේ මැරයන් සම්බන්ධව රාජකාරි පැහැර හැරිය ආකාරය පිළිබඳව හෙළිදරවු කළහ.
මොවුන් සම්බන්ධව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන බව සහකාර පොලිස් අධිකාරීවරයා සහතික විය.