කොකාවිල් හමුදා කඳවුරේ කාන්තා සෙබලියන්ගේ ස්ථාන මාරුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක යෙදෙන්නේ ශ්‍රි ලංකා යුද හමුදාවේ 4වන කාන්තා බලකායේ සෙබලියන්ගේ ඥාතීන් සහ ඔවුන් සම්බන්ධව උන්නදුවක් දක්වන පිරිස් බවත් මෙම උද්ඝෝෂණයට කාන්තා සෙබලියන් සම්බන්ධ වී සිටින්නේ දැයි සොයා බලාන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රවී හේරත් ලංකාසරට පැවසුවේය.
ඔහු ප්‍රකාශ කලේ සිද්ධිය සම්බන්ධව විමර්ශන පවත්වාගෙන යන බවය. විරෝධතාවයට සෙබලියන් සහභාගි වී සිටින්නේ නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහි හමුදා විනය පටිපාටියට අනුව කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මෙසේ ද පැවසුවේය.
“යුද්ධයෙන් පසුව හමුදාව ප්‍රතිව්‍යූහගත කිරීමක යෙදී සිටිනවා. කොවිඩ් වසංගතය වැනි හේතු නිසා ඒ කාර්ය නරත වෙලා තිබුණේ. දැන් ඒ කාර්ය කෙරෙමින් පවතිනවා.”
“එහිදී ප්‍රතිව්‍යුහගත කිරීමක් තුළ බලඇණි මූලාස්ථාන, සේනාංක මූලස්ථාන,බලසේනා මූලස්ථාන, වෙන වෙන තැන්වලට ස්ථානගත වීමට නියමිතයි. ඕනෑම රටක හමුදාවකමේ වෙනස්කම් සිදු කිරීම සාමාන්‍යයයි. “
“දැන් මේ ගැටලුව පැන නැඟී තිබෙන පිරිස ප්‍රාදේශීය වශයෙන් යුද්ධයෙන් පසුව ඒ ඒ පළාත්වලින් බඳවා ගත් පිරිසක්. ඔවුන් බඳවා ගනිද්දි තමන්ගේ ප්‍රදේශයේ ළඟම තිබෙන කඳවුරෙහි සේවය කිරීමට ඔවුන්ට අවස්ථාවක් දී තිබුණා.”
“මේ ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ ශ්‍රී ලංකා 4 වන කාන්තා බලකායේ. ඒ බලඇණි මූලස්ථානය ස්ථානගත වී තිබ්බේ කිලිනොච්චියේ කොකාවිල්වල. ප්‍රතිව්‍යූහගත කිරීම තුළ කොකාවිල්වල පිහිටි 4 වන කාන්තා බලඇණි මූලස්ථානය මැදවච්චියට ගෙන ඒමට නියමිතයි. “
“ප්‍රාදේශීය බඳවාගත් පිරිස කෙරේ ගෙන ඇති තීරණය වන්නේ එම නිලධාරිනයන් ඔවුන්ගේ ප්‍රෙද්ශයේ ළඟම තිබෙන කඳවුරකට අනුයුක්ත කරන එක. එහි සේවය කරපු අයට එයින් වාසියක් වෙන්නේ. මෙහි සේවය කලේ පිටතවාසි සෙබළියන්. එනම් උදේ රාජකාරියට ඇවිත් හවස තමන්ගේ නිවසට යන පිරිස. මේ තීරණය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඔවුන්ට තමන්ගේ නිවස පිහිටි ප්‍රදේශයේ ළඟම ඇති කඳවුරේ ඔවුන්ට සේවය කරන්න පුළුවන් වන නිසා ඔවුන්ට තමන්ගේ කාලය මුදල් ඉතිරි වෙනවා. “
“මේ තොරතුර මේ සෙබළියන්ට ගිහින් තිබෙන්නේ වැරදි විදිහටයි. ඔවුන් හිතාගෙන ඉන්නේ බලඇණි මූලස්ථානය යන විට ඔවුන්ටත් යන්න වෙනවා කියන එකයි. නමුත් එහෙම දෙයක් සිදු වන්නේ නෑ.”
“දැනට ලැබෙන තොරතුරු අනුව මේ විරෝධතාවයට සම්බන්ධ වෙලා ඉන්නේ සෙබලියන්ගේ ඥාතීන් සහ උනන්දුවක් දක්වන පිරිස් බවයි දැනගන්නට ඇත්තේ. යුද හමුදා පුද්ගලයන් මීට සම්බන්ධ නම් වහාම ඔවුන්ට එරෙහිව හමුදා විනයට අනුව ක්‍රියා කරනවා…” හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ මේ විරෝධතාවය දක්වන කණ්ඩායම දේශපාලන කාරණා මත පදනම් යුද හමුදාවට බඳවා ගත් දෙමළ තරුණියන් පිරිසක් බවය. මේ ක්‍රියාවලියට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර හමුදා අධිකරණයකට යොමුකිරීමෙන් අනතුරුව දඬුවම් ලබා නොදෙන්නේනම් එය ඉතා නරක පූර්වාදර්ශයක් විය හැකි යැයි ආරක්ෂාව පිළිබඳ වෘත්තීකයෝ පෙන්වා දෙති.
වාර්තාවන පරිදි මෙම විරෝධතා ව්‍යාපාරයට සක්‍රීයව එක් වෙමින් යුද හමුදා සෙබලියන් සැලකියි යුතු පිරිසක් වෙති.