දිනසේන රතුගමගේ –
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් මෙතෙක් ගොඩ ගෙන ඇති මිනිස් ඇට සැකිළි 58 සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වීම මුලතිව් රෝහලේදී පෙරේදා (16 ) සිට ආරම්භ කොට තිබේ.
මුලතිව් අධිකරණ වෛද්‍ය විශේෂඥ කනකසබාපති වාසුදේවගේ ප්‍රධානත්වයෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ ආරම්භ කොට ඇත.
මෙහිදී මුලින්ම එකම වර්ගයේ අස්ථි කොටස් වෙනම පාර්සල් වලට යොමු කිරීමක් සිදු කෙරෙන බවත් ඉන් අනතුරුව එම මිනිස් ඇට සැකිලි ලිංග භේදය අනුව කාන්තා හා පිරිමි වශයෙන් වෙන් කරණ බවත් මුලතිව් රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කරයි.
අනතුරුව මෙම මිනිස් ඇට සැකිලි සම්බන්ධයෙන් කාල නිර්ණය කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා මිනිස් ඇට සැකිලි වලින් විවිධ මාදිලියේ සාම්පල වෙන් කිරීමක් සිදු කිරීමටද අපේක්ෂා කෙරෙයි.
ඇතැම් විට කාබන් කාල නිර්ණය සඳහා මෙම මිනිස් ඇට සැකිලිවලින් කීපයක් විදේශ රටකට යැවීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහාද විවිධ මට්ටමේ සාම්පල අවශ්‍ය බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරණ බවද මුලතිව් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කරයි.
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ මීළඟට කැණීම් කටයුතු ආරම්භ කෙරෙන දිනයක් නොමැති නිසා එම දිනය නිර්ණය වනතුරු දැනට හමු වූ මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද මුලතිව් අධිකරණ වෛද්‍ය විශේෂඥ කනකසබාපති වාසුදේව පැවසීය.







