කීර්ති ප්‍රනාන්දු –
මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හා පොලිසිය මගහැර සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ සේවිකාවන් දෙදෙනාගෙන් එක් සේවිකාවක් අද (13) මිනුවන්ගොඩ පොලිසියට භාරවීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කර අධිකරණ නියෝග මත මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේය.
ලෙස මිනුවන් ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ලලනී එම්. බුලත්සිංහල අද එම (13) නියෝග කළාය .
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිනුවන්ගොඩ කලවාන අංක 14/ඒ. පදිංචි සඳුනි හංසිකා පියුමාලි (22) නමැති එම රූපලාවන්‍ය ආයතනයේ සේවය කළ සේවිකාවකි.
එහිදී පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් රූපලාවණ්යායතනයේ හිමිකාරිය සහ අනෙක් සේවිකාව අධිකරණ නියෝගද නොසලකා හරිමින් තවමත් සැඟවී සිටින බැවින් ඔවුන්ට විදේශගතවීම තහනම් කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් එහිදී ඉල්ලා සිටියේය .
ඒ අනුව එම කරුණු සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරිය රූපලාවන්‍යාගාරයේ හිමිකාරියට සහ අනෙක් සේවිකාවට විදේශ ගතවීම තහනම් කරමින් නියෝග නිකුත් කළ අතර ඊට අමතරව ඔවුන්ගේ දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට හා ඡායාරූප ජනමාධ්‍ය ඔස්සේ පළ කරන ලෙසට පොලිසියට නියෝග කෙරිණ .
මෙම අවස්ථාවේදී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන රංජිත් දිසානායක සහ අෂාන් ලක්මාල් මෙම රූපලාවණ්‍යාගාරය තුළ දී පැමිණිලිකාර කාන්තාවගේ හිස කෙස් සැකසීම සඳහා ගල්වන ලද ආලේපන සහ අනෙකුත් ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවේදී විත්තිකාර සේවිකාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියන්ති ලියනාරච්චි අධිකරණයට කරුණු දක්වමින් මෙම තරුණිය එම රූපලාවණ්‍යාගාරයේ පුහුණුවීම සඳහා එහි සේවයට ගොස් සිටින අයෙකු බැවින් අදාල සිදුවීමට මෙම තරුණියගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය මෙම සිදුවීමට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය .
මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක වජිරා ශාමලී සහ උප පොලිස් පරීක්ෂක කේ. ජී .කේ. අභයරත්න සැකකාර සේවිකාව අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයවිය .
අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් නීතිඥවරුන් වන රංජිත් දිසානායක සහ අෂාන් ලක්මාල් මහත්වරුන් පෙනී සිටිය අතර සැකකාර සේවිකාව වෙනුවෙන් නීතිඥ ප්‍රියන්ති ලියනාරච්චි මහත්මිය පෙනී සිටියාය.







