මේ වනවිට වී කිලෝවක් සදහා රුපියල් 100ක සහතික මිලක් ගොවීන්ට ලබා දෙනවායැයි රජය පැවසුවත් එය බෝඩ් එකකට පමණක් සීමාවී ඇතිබවත් සහතික මිලට වී මිලදී ගැනීමට රජය වහාම කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
සිය පියා ජනාධිපතිවරයාව සිටි අවධියේ දී වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කර වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුකළ බව නාමල් රාජපක්ෂ පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ අනුරාධපුර හා පොලොන්නරුව ගොවි ජනතාව හමුවී ඔවුන් සමග සාකච්ඡා කරමිනි.
සිය මාමා වූ ගෝඨාභය රාජපක්ෂ පොහොර සහනාධාරය ලබානොදීමට කටයුතු කරද්දි සහ අවම වශයෙන් තමන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයට පවා පොහොර සහනාධාරය ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කරද්දී සිය පියා වන මහින්ද රාජපක්ෂ රුපියල් 350කට පොහොර සහනාධාරය ලබා දුන් ආකාරයත් නාමල් රාජපක්ෂ මෙහිදී සිහිපත් කළේය.
කාබනික පොහොර සංකල්පය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් යම් තැනක වැරද්දක් සිදුවුණු බවත් දිගින් දිගටම එම වැරද්ද පිලිබඳව කතා කිරීමෙන් ඵලක් නැති බවත් නාමල් රාජපක්ෂ පවසයි.
දැන් කළ යුත්තේ වී ගොවීන්ගේ අස්වනු සදහා නියම සාධාරණ මිලක් ලබාදීමත් දැනටමත් බෝඩ් වලට සීමා වී ඇති වී මිලදී ගැනීම් වහාම ආරම්භ කිරීමත් බව කී නාමල් රාජපක්ෂ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වහාම නිදහස් කර වී මිලදී ගැනීම් සිදුකරන ලෙසත් ඉදිරියේදී වී සඳහා සාධාරණ සහතික මිලක් ලබාදෙන ලෙස රජයට දැනුම් දෙන බවය..