කෘතිම බුද්ධි සහ ඊට සම්බන්ධ පරිගණක පද්ධති විකිණීම සහ භාවිතා කිරීමට සම්බන්ධයෙන් වහාම තාවකාලික තහනමක් පැනවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ අවධාරණය කර ඇත.
මේ දිනවල ජනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී කෘතිම බුද්ධි සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපක් කරමින් ඇය මේබව ප්‍රකාශ කර ඇති අතර එහිදී ඇය පෙන්වා දී ඇත්තේ කෘතිම බුද්ධි මගින් බරපතල ලෙස මානව හිමිකම් කඩවීම් සිදුවන බවයි.
ඒ අනුව මානව හිමිකම් ආරක්ෂා කරමින් ක්‍රියාත්මක කළ නොහැක කෘතිම බුද්ධි මගින් ක්‍රියාත්මක වන පරිගණක පද්ධති ජාත්‍යන්තර මානව හිමිකම් නීති වලට අනුකූලව පවත්වාගෙන යාමට නොහැකි බවත් එවැනි පද්ධති වහාම තහනම් කළයුතු බවද ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබේ.
“කෘතිම බුද්ධි මානව ප්‍රජාවගේ යහපත උදෙසා යොදාගැනීමේ හැකියාව පවතිනවා. ඒත් එම තාක්ෂණය මගින් විශාල අවාසි සහ බරපතල ගැටලු නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව මෙම තාක්ෂණය එම අයහපත් දෑ පිළිබඳ සැලකීමකින් තොරව ක්‍රියාත්මක වුවහොත් මානව හිමිකම් විශාල වශයෙන් කඩවීමකට ලක්වෙනවා.” යනුවෙන් බැචලේ සඳහන් කළාය.
මානව හිමිකම් කඩවීමේ අවදානම වැඩිවන ඕනෑම අවස්ථාවක එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීති තද කිරීමට සිදුවන බවත් ඒ අනුව කෘතිම බුද්ධි සම්බන්ධයෙන්ද නීති දැඩි කිරීමේ කාලය එළැඹ ඇති බවද ඇය පේනවා දුන්නාය.
ඒ අනුව රාජ්‍යන් විසින් කෘතිම බුද්ධි මගින් ඇතිවය හැකි අයහපත් බලපෑම් පිළිබඳ නිසි අධ්‍යනයක් සිදුකරන තෙක් ඒවා තාවකාලිකව තහනම් කිරීම වඩා උචිත බවද ඇය සඳහන් කළාය.
කෘතිම බුද්ධ මගින් ක්‍රියාත්මක පරිගණක පද්ධති මේවන විට ලොව සෑම කොනකටම පැතිරගොස් ඇති බවත් එමගින් මිනිසාට භෞතිකව මෙන්ම මානසික වශයෙන්ද බලපෑම් එල්ල කරන බවද කෘතිම බුද්ධ මගින් ජනතාව සපයන පොදු සේවා පිළිබඳව, ඔවුන් රැකියාවකට බඳවා ගැනීම වැනි කරුණු වලටද බලපෑම් එල්ල කරන බවටද ඇය පෙන්වා දුන්නාය.
මේ අතර නවීන ඇගිලි සලකුණු සහ මුහුණ හඳුනා ගැනීම සඳහා භාවිතා කරන තාක්ෂණය මගින් පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය පිළිබඳවද දැඩි ගැටලු නිර්මණය වී ඇති බවත් ඇතැම් විට එම තාක්ෂණය භාවිතා කරමින් පුද්ගලයින් හඳුනා ගැනීම මගින් බරපතල මානව හිමිකම් කඩවීම් සිදුව ඇති බවද ජගත් මානව හිමිකම් මහ කොමසාරිසවරිය සඳහන් කළාය.