කුඩා දැරියකට අමානුෂික ලෙස පහර දුන් වරදට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති කුකුළු චමින්ද නැමැත්තාගේ බිරිය ද අපරාධවලට සම්බන්ධ තැනැත්තියක් බවත්, අසත්‍ය පැමිණිලි දමා ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ලබාගැනීමේ ජාවාරමක් ඇය විසින් දියත් කර ඇති බවත් හොරොව්පතාන පොලිසිය පවසයි
37 හැවිරිදි පෑලව ගල්කොටුවේගෙදර චාන්දනී මුනින්ද්‍රා නැමැති මෙම තැනැත්තියට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.
මෙම සැකකාර කාන්තාව මීට මාස දෙකකට පෙර හොරොව්පතානේ රෙදි කඩයක හිමිකරුවෙක් තමන්ට ලිංගික අතවර කළ බව පවසමින් හොරොව්පතාන පොලිසියේ පැමිණිල්ලක් දමා තිබුණු බවත්, මේ වනවිට නිවාඩු ගොස් සිටි හොරොව්පතාන පොලිස් ස්ථානධිපතිවරයා දැනුම්වත් කර ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී මෙම පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවත් හෙළි වුන බව හොරොව්පතාන පොලිසිය පවසයි.
පොලිසිය හෙළිදරවු කරගෙන ඇත්තේ මෙම කාන්තාව ලිංගික අතවර සම්බන්ධ අසත්‍ය පැමිණිලි දමමින් ව්‍යාපාරිකයන් බිය වද්දා මුදල් ලබා ගැනීමේ කටයුතුවල නිරත වී ඇති බවත්, සැකකාරිය මෙතෙක් සොයාගැනීමට නොහැකි වී සිටි බැවින් විමර්ශන ප්‍රමාද වී තිබුණු බවත් පොලිසිය කියයි.
කෙසේ වෙතත් කුකුළු චමින්ද සමග අත් අඩංගුවට පත්වන කාන්තාව හොරොව්පතානේ රෙදිපිළි ව්‍යාපාරිකයාට අතවර චෝදනා එල්ල කළ කාන්තාව බව හඳුනා ගැනීමෙන් අනතුරුව එදිනම කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම කාන්තාවගෙන් කටඋත්තර සටහන් කරගෙන තිබිණි.
එහිදී ඇය තමන් ඉදිරිපත් කළේ ව්‍යාජ පැමිණිල්ලක් බව පිළිගෙන ඇත. ඒ අනුව අසත්‍ය පැමිණිලි ගොනු කරමින් පොලිිසිය නොමග යැවීමට උත්සාහ කළ බව බවට මෙම කාන්තාවට එරෙහිව නඩුවක් ගොනුකිරීමට හොරොව්පතාන පොලිසිය සූදානම් වේ. – ලංකාදීප-









