රට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බැවින් කිරිපිටි ආනයනය නතර කරන්නැයි රජයට අයත් ප්‍රධාන දේශීය කිරි නිෂ්පාදන සමාගම් වන මිල්කෝ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා පුද්ගලික අංශය සතු පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම්වල බලධාරීන් අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ ඊයේ (01) මෙම කිරි නිෂ්පාදන සමාගම්වල බලධාරින් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි පියවර සම්බන්ධව සිදු කළ සාකච්ඡාවේදී මේ බව කියා තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් පසුගිය මාස හය තුළ එළ කිරි නිෂ්පාදනය ලීටර් 2,599,617 දක්වාත් මිල්කෝ සමාගම කිරි ලීටර් 19,152,766 දක්වාත් ඉහළ ගොස් අතර පසුගිය වසරට සාපේක්ෂව මෙම ප්‍රමාණය සියයට 30ක පමණ ඉහළ යාමක් බව එම සමාගම් පෙන්වා දුන්නේය.
එමෙන්ම ආරියශීල වික්‍රමනායක විසින් පවත්වාගෙන යන පැල්වත්ත කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව සතුව මේ වනවිට මෙරට දියර කිරි ආශ්‍රිතව නිෂ්පාදනය කරන ලද සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් අලෙවි කර ගත නොහැකිව ඇති බව ඒ මහතා සඳහන් කළේය. රට තුළ කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අවස්ථාවක රජය විසින් විදේශ රටවලින් තවදුරටත් කිරිපිටි ආනයනය කිරීමට අවසර දීම නිසා තම නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ඔහු අවධාරණය කළේය.
මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ යාම සම්බන්ධව කඩිනමින් තමන්ට වාර්තාවක් සකස් කර දෙන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර කිරි පිටි ආනයනය සම්බන්ධව ඉදිරි තීරණ ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.







