21 හැවිරිදි තරුණිකයේ සිරුරින් වෙන් වන්නට කපා දැමූ අතක් පැය 4ක ශල්‍යකර්මයකින් පසුව කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් සාර්ථකව බද්ධ කර තිබිණි.
සිද්ධියට මුහුණ දුන් තරුණිය පොල්ගහවෙල ඇඟළුම් කම්හලක සේවිකාවකි. ගම කෑගල්ල එරබදු පිටියය.
ඊයේ (04)රාත්‍රි 7.30ට පමණ ඥාතීන් අතර ඇතිවූ ආරවුලක් අතරතුර එල්ල වූ කඩු පහරකින් ඇයගේ වම් අත කැපී වෙන් වී ගියේය.
රුධියරය ගලා යමින් තිබිණි. කෙසේ වෙතත් ඥාතීහු ඇයව විනාඩි 15ක් තුළ වෙන් වූ අතත් රැගෙන කෑගල්ල රෝහලට ඇතුළත් කළහ. අත රැගෙන ගොස් තිබුණේ අයිස් සහිත බෑගයක් තුළය.

කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ආනන්ද ජයවර්ධනය. ඔහු ඇතුළු වෛද්‍ය කණ්ඩායම වහාම ක්‍රියාත්මක විය. තරුණිය සිටියේ අධික රුධිර වහනය නිසා ඇතිවූ සංකූලතා සමගය. වහාම ඇයට රුධිරය ලබා දී පත් වී තිබූ අවදානමින් ගලවාගෙන අතේ ලේ ගලීම් පාලනය කර ශල්‍ය කර්මය සඳහා සූදානම් කරනු ලැබුවේය.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන කීවේ මෙවැනි කතාවකි.

“මෙවැනි හදිසි තත්ත්වයක දී සලකා බැලිය යුතු කරුණු දෙකක් තියනවා. පළමු දේ තමයි රෝගියාගේ ජීවිතය බේරා ගැනීම. දෙවැනි දේ තමයි රෝගියාගේ අවයවයක් බේරා ගැනීම.
මේ තරුණියගෙ සිරුරින් අධිකව රුධිරය වහනය වෙලා… ඇයගේ ජීවිතයට යම් තර්ජනයක් තිබුණා. මේ තත්ත්වය අපි නිවැරදි කළා. රුධිර පාරවිලනය කර ඇයගේ ජීවිත අවදානමින් ඇයව බේරා ගත්තා.
දෙවැනි දේ තමයි වෙන් වී ගිය අත නැවත බද්ධ කිරීමේ අභියෝගය. මේ අභියෝගයත් අපි භාරගත්තා. වෙන් වී ගිය අත නැවත බද්ධ කිරීමට අපිට හැකි වුනා.
මේ ශල්‍ය කර්මය සඳහා පැය 04ක පමණ කාලයක් ගත වුනා. අපිට හිටියා ඉතාම හොඳ කණ්ඩායමක් සහයක වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය, සෞඛ්‍ය සහයක කණ්ඩායම් සහ ලේ බැංකුව විසින් විශේෂ සහාය සිහි කළ යුතුයි. මේ කණ්ඩායමක සාර්ථකත්වය නිසා තමයි අපට මෙම සැත්කම සාර්ථකව සිදු කරලා ඇගේ ජීවිතයත් ඇගේ අතත් ඇයට බේරලා දෙන්න හැකි වුනේ. “
ඒ තරුණිය මේ වනවිට කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබමිනි.
ඇය ක්‍රමානුකූලව සුවය ලබමින් සිටී.







